සංචාරක පාරාදීසයක් වන තිස්සමහාරාමය මහසෙන්පුර ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී පසුගියදා මුළු ප්‍රදේශයම කලඹපු සිදුවීමක් වාර්තා වුණා.
මේක හරියට නිකම් චිත්‍රපටයක ජවනිකාවක් වගේ.
ප්‍රංශ ජාතික රූමත් තරුණියක් මේ මධ්‍යස්ථානයට ගොස් ඇත්තේ සිරුරේ විඩාව නිවා ගැනීමටයි.
හැබැයි ඇය පවසන ආකාරයට, සම්බාහනය අතරතුර එම මධ්‍යස්ථානයේ හිමිකාරියගේ සැමියා විසින් ඇයට ලිංගික අතවරයක් කර තිබෙනවා.
තමන්ට වූ අකරතැබ්බයෙන් බියටත් පත්වූ ප්‍රංශ යුවතිය වහාම මේ ගැන ඇගේ සමීපතම ඉන්දියානු ජාතික මිතුරාට පවසා තිබෙනවා.
තම මිතුරියට වූ අසාධාරණය ඇසූ සැනින් කෝපයට පත් ඉන්දියානු ජාතිකයා කිසිවක් නොසිතා වහාම අදාළ මධ්‍යස්ථානයට කඩා වැදුණා.
එහිදී ඔහු සහ අතවරය කළ බව කියන හිමිකාරියගේ සැමියා අතර උණුසුම් බහින්බස් වීමක් ඇතිව තිබෙනවා.
පාලනය කරගත නොහැකි වූ කෝපය අවසානයේ කෙළවර වුණේ දරුණු පහරදීමකින්.
ඉන්දියානු ජාතිකයාගේ පහරදීමෙන් හිමිකාරියගේ සැමියා රෝහල් ගත කරන තරමටම තුවාල ලබා තිබෙනවා.
සිදුවන දේ බලා සිටි මධ්‍යස්ථානයේ හිමිකාරිය වහාම 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දුන් අතර, ක්‍රියාත්මක වූ තිස්සමහාරාම පොලිසිය වහාම එම ස්ථානයට පැමිණ ඉන්දියානු ජාතිකයා අත්අඩංගුවට ගත්තා.
මේ වන විට පහර කෑ පුද්ගලයා දෙබරවැව රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අතවරයට ලක්වූ බව කියන ප්‍රංශ ජාතික කාන්තාව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අවසානයේ මිතුරිය වෙනුවෙන් පෙනී සිටි ඉන්දියානුවාටත්, අතවරය කළ බව කියන සැමියාටත් දෙදෙනාටම නීතිය ඉදිරියට යන්න සිදුවෙලා.