කොහොම වුණත් දැන් මේ සිද්ධිය නිසා බොහෝ දෙනෙක් කම්පා වී හමාරයි.
කොළඹ, මෝදර, රන්දිය උයන නිවාස සංකීර්ණයේ හත්වැනි මහලේ කොන්ක්‍රීට් තට්ටුවක බදාම කොටසක් හිසමතට කඩා වැටී බිම් මහලේ එළියේ සිටි 7 හැවිරිදි පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබුණා. පෙරේදා (04 වැනිදා) රාත්‍රී දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මෙලෙස මියගොස් තිබුණේ සඳරුවන් මෝටියර් නමැති දරුවෙක්.
දරුවා පෙරේදා සිය මිත්තණිය හා ලොකු අම්මා සමග එම නිවාස සංකීර්ණයේ පහත ම මාලයේ පිහිටි වෙළෙඳ සලේ සිට තිබුණා. මොහොතක් එහි සිට මෙම දරුවා එම වෙළෙඳ සැලෙන් එළියට පැමිණි අවස්ථාවේ එම බදාම කොටසක් ගැලවී දරුවාගේ හිස මතට වැටී තිබෙනවා. එහිදී තුවාල ලැබූ දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආවේගශීලීව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක් මෙසේ පැවැසීය.
“2019 දී විතර මේ නිවාස සංකීර්ණයේ බිත්තිය පුපුරලා තිබුණා. මේ ගැන අපි යූ. ඩී. ඒ. එකට දැනුම් දීලත් ගණන් ගත්තේ නැහැ.
ලියුම් දුන්නා ෆොටෝ ගහලා යැව්වා. ඒ කිසි දෙයක් යූ.ඩී.ඒ. එකෙන් ගණන් ගත්තේ නැහැ. දැන් මේ දරුවෙක් නැතිවෙලත් යූ. ඩී. ඒ. එක තාම ආවේ නැහැ. මේ ප්ලැට් එකේ ඉන්න අනිත් මිනිස්සුත් මැරෙනකම් ද මේ බලාගෙන ඉන්නේ.”
මේ අතර මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එම දරුවාට සිදුවූ අවාසනාවන්ත සිදුවීම ගැන එම දරුවාගේ පවුලෙන් සමාව අයදීය.
මියගිය දරුවාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (05 වැනිදා) කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැත්වුණ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි පී. ඒ. කිරිඇල්ල මහතා විසින් පවත්වන ලදී.
ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි මහත්මිය, මියගිය දරුවාගේ මරණය බදාම තට්ටුවක් හිස මත කඩා වැටීමෙන් හිසට සිදුවූ බරපතළ හානි හේතු කොට ගෙන සිදුවූ මරණයක් බවට නිගමනය කළා.
නාරාහේන්පිට වන්දි කොමසාරිස් කාර්යාලයට ගොස් පැමිණිලි කරන ලෙසට ද කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂකවරිය, මියගිය දරුවාගේ දෙමාපියන්ට දැනුම් දුන්නා.
දරුවාට සිදුවූ විපත පිළිබඳව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දෙන ලෙසට ද හදිසි මරණ පරීක්ෂකවරිය පොලිසියට නියෝග කළා.
දිවයින පුවත්පත ඇසුරෙන්..