ඇහැලියගොඩ ප්‍රදේශයේදී පෙරේදා අලුයම නාඳුනන කණ්ඩායමක් විසින් ජීප් රථයකින් තම පුත්‍රයා පැහැරගෙන යද්දී ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ 65 හැවිරිදි පියකු එම ජීප් රථයටම යට කර මිය යාමේ පුවතක් වාර්තා වුණා.
පුත්‍රයාට ද අදාළ පිරිස විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර තිබූ අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පියාගේ දේහය දැකගැනීමට පුත්‍රයා අද නිවසට පැමිණියේය.
නාදුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිය පුත්‍රයා ඇහැලියගොඩ පින්නවල ප්‍රදේශයට රැගෙන ගොස් මහමඟ දණ ගස්සවා ඔහුගේ දෑතට මාංචු දමා පහරදී ඇසිඩ් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.
පොලිසිය පවසන්නේ අසල්වාසී නිවසක පිරිසක් සමග මෙම පියා සහ පවුලේ සාමාජිකයන් කාලයක සිට ආරවුලක් ඇති කරගෙන සිටින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සිද්ධිය වී ඇති බවත්ය.
පෙරේදා අලුයම හය දෙනකුගෙන් සමන්විත සන්නද්ධ පිරිසක් ඇහැලියගොඩ පිහිටි මෙම නිවසට පැමිණ ඇත්තේ තමන් පොලිස් නිලධාරීන් බව කියමින්ය.
පසුව නිවසේ සිටි පුත්‍රයා බලහත්කාරයෙන් ජීප් රථයට දමාගෙන පැහැරගෙන යෑමට උත්සාහ කරද්දී 65 හැවිරිදි පියා ජීප් රථයේ එල්ලී එය වළක්වාලීමට උත්සාහ කර ඇත.
ඒ අවස්ථාවේ පියා බිම ඇදවැටී ජීප් රථයටම යට වී බරපතළ තුවාල ලබා තිබේ.
රෝහල්ගත කිරීමෙන් පසු පියා මියගොස් ඇති අතර සන්නද්ධ පුද්ගලයන්ගේ ප්‍රහාරයට ලක්වූ පුත්‍රයා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.
පොලිසිය පවසන්නේ මෙම පවුලේ සාමාජිකයන්ගෙන් පළිගැනීම සඳහා කිසියම් පිරිසක් යොදවා කොන්ත්‍රාත් මුදලක් ලබාදී මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.
අනියම් සම්බන්ධයක් මුල් කරගෙන ඇතිවූ ආරවුලක් මත පවුල් දෙකක් අතර කාලයක පටන් ගැටුම් පැවති අතර මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ ඉන් එක පවුලක සාමාජිකයන් පිරිසකි.