මුත්‍රා දැවිල්ලයි, ශරීරයෙන් පිටවන තමන්ගෙම දහදිය තමන්ටම ගඳක් විධියට දැනීමයි හිතට හරිම වදයක් වන තත්ත්වයන්.
මුත්‍රා දැවිල්ලත් එක්ක එන අඩස්සි ගති වේදනාකාරී දෙයක්. මෙම තත්ත්වය සුව කරගෙන නිරෝගී වන්නේ කොහොමදැයි ඔබ සිතනවා වන්නට පුළුවන්.
සමහර පිරිමින්ට වයස්ගත වුණාම මේ වගේ තත්ත්වයේ වර්ධනයක් පෙන්වනවා. සමහරු මේකට බටහිර බෙහෙත් බොනවා. ඒවා ඇතැම් විට බෙහෙත් බොන තුරාවට සුව වීමක් වෙන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වය යළි යළිත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝදුරට බටහිර ප්‍රතිකාර මඟින් වෙන්නෙ ඒ වෙලාවට වේදනාවත්, දැවිලි ගතියත් අඩු කිරීමට සැලැස්වීමයි. නමුත් ඒ තත්ත්වය ආයෙත් ඇති වෙන්නෙ නෑ කියලා කියන්න බැහැ. එහෙම නම් රෝග තත්ත්වය පහවී නෑ.
මේ ගැනත් හිතා බලන්න. ඔබ හොඳින් වතුර පානය නොකරන කෙනකු නිසාත් විවිධ රෝග පීඩාදියට බටහිර බෙහෙත් පෙති වර්ග බොන කෙනකු නිසාත් මේ වගේ මුත්‍රා කරද්දී දැවිල්ලක් ඇතිවෙන්න පුළුවන්. නමුත් ශරීරයේ සියලු කටයුතු ඉතා හොඳින් වෙනව නම් ශරීරයෙන් මුත්‍රා හා මල නිසි ලෙස පිට වෙනවා නම් රෝග පීඩාදිය අඩු බව කිව යුතුයි.
මෙවැනි රෝග තත්ත්වයන් පුරාණ වෙදකමට අනුව පහසුවෙන් සුව කළ හැක්කක්. නමුත් එය බේත් හේත්වලින් සුව කළත්, ඔබ ඔබේ එදිනෙදා චර්යාවන් වෙදකමට අනුව පාලනය කරගත යුතුමයි. එය නැතිව බටහිර බෙහෙත් වගේ තාවකාලික සුවයකට ගන්නව නම් ඔබ අමාරුවේ වැටෙන්නේ ඉක්මනටමයි.
මොනවාද මීට ගන්නා ඔසු?
ආයුර්වේදයට අනුවත් මුත්‍රා වර්ධක ඔසුවක් විදිහට “සුදුහඳුන්” භාවිත කරනවා. එය ඒ තරම් බලවත්, ශරීරයේ දාහය නැති කරන්නට වටිනා ඔසුවක්. බඩ, පපුව දැවිල්ලටත් ඉතා ගුණදායකයි. ශරීරයේ විස නැති කරන්නත් ප්‍රබලයි.
මේ ගැන දැන් යම් තරමක ඔබ දැනුවත් නිසා බඩ, පපුව දැවිල්ල තිබේ නම් ඔබ කළ යුත්තේ සුදු හඳුන් ටිකක් ගලගා තැඹිලි වතුරේ එය හොඳින් කලවම් කරගෙන තියලා උදේම පානය කිරීමයි. ඉන් වස විසත් නැසෙනවා. ශරීරයට අමුතුම පහසුවකුත්, සුවයකුත් සැනසීමකුත් ලැබෙනවා.
තව දෙයක් තියෙනවා. ඔබේ ශරීරයෙන් පිටවන දහදිය දුර්ගන්ධයෙන් යුතු නම් ඔබ මහත් සේ පීඩාවට පත්වෙනවා. එහෙම නම් එය හිතට වද දෙන්නක්. ඔබ කළ යුත්තේ මේකයි. සුදුහඳුන්, සැවැන්දරා, අගිල්, ඉරිවේරිය කොළ සමව ගෙන කොටා පිරිසුදු ඇල් වතුරෙන් අඹරාගෙන දිය නෑමට පෙර ඇඟ පුරා ගා ගෙන පැයක් විතර ඉඳලා ස්නානය කිරීමයි. එය ඉතා ගුණදායකයි. ප්‍රතිඵලදායකයි.
මුත්‍රා දැවිල්ල නම් ඔබ කළ යුත්තේ, ඉඟිනි ඇට සහ සුදුහඳුන් සම සමව ගෙන ගලෙහි ගා එහි ඉස්ම තැඹිලි වතුරෙහි දියකර තබලා උදේ -හවස සහිඳ ලුණු දමා හිස්බඩ පානය කිරීමයි. එය ඉතා ඉහළින් ප්‍රතිඵලදායක වේවි. ඔබට ඉතා පහසුවෙන් මේ මහපොළොවේ වැවෙන, කාලාන්තරයක් මුළුල්ලේ ඔබේ මුතුන් මිත්තන් රැගෙන ආ හෙළ වෙදකමේ මහිමයෙන් නිදුක් නිරෝගීව ඉන්න පුළුවන්. අකාලයේ රෝගී වී මිය යන්නේ නැතිව ජීවිතේ විඳින්න පුළුවන්.
සුශ්‍රැත සංහිතාව ඇසුරෙනි.
විජිත කේ. පතිරණ