අම්මෙකුට තමන්ගේ දරුවා තරම් වටිනා සම්පතක් මේ ලොකේ කොහෙවත් නෑ. ඒ තරම් ආදරේ කරන තමන්ගේ දරුවා හිටපු ගමන් නැතිවුනොත් ඒක අම්මට දරාගන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒ විදියට මීට වසර ගාණනට කළින් අභිරහස් ලෙස අතුරුදන් වුණු තමන්ගෙ දුව තාමත් හොයන අම්මා කෙනෙක් ළඟදි දවසක හිරු ගොසිප් අපිට කතා කළා.
ඒ කාලේ මේ කතාව ගැන මාධ්‍ය වල පවා මුල් පුවතක් ලෙසින් කතාබහටත් ලක්වුණා සමහර විට ඔබට මතක ඇති. ඒ විදියට අතුරුදන් වුණු තරුණියක් තමයි මයෝමි කියන්නේ. දැන්නම් ඇය ගැන ගොඩදෙනෙකුට අමතක වෙලා. ඒත් මේ අම්මට එයා හොයන තමන්ගෙ දුව තාමත් හම්බවෙලා නෑ. අකුරැස්‌ස විල්පිට නිල්වලා ගුරු අභ්‍යාස විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි හේවාමුලිගේ මයෝමි සංජීවනී අතුරුදන් වෙලා දැනට වසර 2කුත් ගතවෙලා.
ඒත් ඇය ගෙදර එනකම් අදටත් මව පියා මෙන්ම සහෝදර සහෝදරියන් මග බලා ඉන්නවා.
මයෝමිට ඇත්තටම වුණේ මොකක්ද ? මයෝමිගේ අම්මා ඒ ගැන අපිට කීවේ මේ විදියට....
මයෝමි බඳින්න ගෙවල් වලිනුත් කැමතිවෙලා හිටිය තරුණයෙක් තමයි අනුශංක කියන්නේ. හැබැයි ඒ අතරේ මයෝමිගේ පස්සෙන් නුවන් කියලා තව කොල්ලෙක් ආවා කියලා තමයි දුව මට කීවේ, දුව නැතිවුණු දවසේ එයා හක්මණ ටවුන් එකට ගියා සාරි ජැකට් එකක් ගේන්න, ඒ ගිහින් එනකම් මම බලන් හිටියා, එන බස් දිහා මම බලන් හිටියා මිදුලේ ඉඳන්, ඒත් ආවේ නැති තැන නුවන්ගෙක් මට කෝල් ගොඩක් ඇවිත්, පොඩි පුතා කීවා අම්මේ නුවන් කතා කළා කියලා, මම නුවන්ට කෝල් කලා, නුවන් කීවා අම්මේ මයෝමි 7 බස් එකට නැංගුවා ගෙදර ආවද කියලා?, මම අන්දමන්ද වෙලා ගියා, එතකොට වෙලාව 7.30යි. මම කෝල් කරලා නුවන්ට බැන්නා මගේ දරුවා ආවේ නෑ, ඔයා බොරු කියන්නේ, මගේ දරුවට මොකක්ද කලේ කියලා, ඒ හැම වෙලාවෙම නුවන් කීවේ මයෝමිව බස් එකට නැංගුවා කියලා,
එහෙනම් අපේ ගෙදරට ඉන්න කීවම මෙයා ආවා, මම ගොඩාක් වෙලා අඬලා කීවා මගේ දරුවා හොයලා දෙන්න කියලා, දුව බඳින්න යාලුවෙලා හිටිය අනුශංක කියන දරුවාට මම කෝල් කලා ගොඩ පාරක්, එයා කීවා මම කිසිදෙයක් දන්නේ නෑ අම්මේ ඉන්න මම එනවා කියලා, මම මේ යාලුවොන්ගේ ගෙවල් වල හොයනවා කියලා, කොච්චර කතා කළත් එයා එනවා එනවා කීවට ගෙදරට ආවේ 10.30 පහුවෙලා,
මේ විදියට කතාව යනකොට දුව නැතිවෙලා දවස් 20කට පස්සේ පොලිසියෙන් ප්‍රශ්න කළාම අනුශංක කීවා මයෝමිව ගෙනිච්චා එයා කියලා, නුවන් බස් එකට නැංගුවා, පස්සේ එයා මගදි දුවව බස් එකෙන් බස්සගෙන අරන් ගියා කියලා, එතන්දි කීවා මාතර එක්ක ගිහින් මගේ දුව මුහුදට පැන්නා කියලා, ඊට පස්සේ දවසක ආයේ කීවා මයෝමිව ගෙනැල්ලා මට බාර දුන්නා කියලා, ඒ වචනේ කීව ගමන් පොලිසියෙන් ඇවිත් මාව රිමාන්ඩ් කළා, මම කෑ ගහලා කීවා මට මගේ දරුවාව ගෙනැත් දුන්නේ නෑ කියලා, මම මාස 3ක් බන්ධනාගාර ගතවෙලා හිටියා කිසිම වග විභාගයක් නැතුව, මට ඇප දුන්නේ නෑ කවුරුත්, කවුරු මොනවා කීවත්...
පස්සේ CID එකේ මහත්වරු මේකට ආවට පස්සේ තමයි ඇපදීලා මාව එළියට ගත්තේ, අනුශංක කීව බොරුවත් එක්ක තාමත් උසාවියේ නඩුව යන්නේ මට දරුවා ගෙනැත් දුන්නා කියලා. ඒත් මගේ හදවත දන්නවා මට දරුවා ගෙනැත් දුන්නේ නෑ කියලා, මට එතනින් හිතාගන්න පුලුවන් අනුශංක මොනවා හෝ දෙයක් හංගනවා කියලා, එක්කෝ අනුශංක අතින් මගේ දරුවාගේ ජීවිතය නැති වුණා, නැත්තම් එයා මගේ දුව අතුරුදහන් කළා, මොන දේ සිද්ධ වුනත් අවසානයට සිද්ධ වුණු දේ අනුශංක දන්නවා,
මම ජනාධිපතිතුමාගෙන් අගැමැතිතුමාගෙන් ඉල්ලන්නේ මේකට සාධාරණයක් ඉෂ්ටකරලා දෙන්න,
දවසක් නිලධාරියෙක් මට කීවා ඔයා දුක්වෙන්න එපා ඔයාගේ දුව ජීවතුන් අතර නෑ කියලා, මං ඇහුවා සර්ලා මේ දන්නේ කොහොමද කියලා. පස්සේ එයාලා කීවා ‘‘අපි දන්නවා, අපි හොයාගත්තා, ඔයාලා මේක CID එකට දුන්නු නිසා තමයි අපි එතනින් නතර වුණේ, දරුවාගේ ජීවිතේ එදාම අනුශංකගේ අතින් නැතිවුණා, එයාව ගෙනිහින් ආදාහනාගාරයකට දාලා අළු කළා කියලා‘‘
මගේ දරුවාට එහෙම දෙයක් කළා නම් ඇයි දැනගෙනත් මේවා වසන් කරන්නේ ? ඇයි මාව රිමාන්ඩ් කළේ ? ඇයි මට අසාධාරණයක් කරන්නේ ? මගේ දරුවා ජීවතුන් අතර ඉන්නවද නැද්ද ? මොකක්ද සිද්ධ වුණේ කියලා මට හොයලා දෙන්න....
වසර 2ක් තිස්සේ සැඟවුණු තමන්ගේ දියණියගේ අභිරහස් අතුරුදන් වීම සම්බන්ධයෙන් තවමත් සොයන මව එසේ කියද්දී හිරු ගොසිප් ඇමතූ ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙවන් අසාධාරණයක් කිසිවෙකුට මින් ඉදිරියට වෙන්නට ඉඩ නොතබන ලෙසයි.
මයෝමිගේ අභිරහස් අතුරුදන් වීම ගැන මව වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් අහන්න....
උපන් දිනය 1989-02-04 අතුරුදන්වුයේ 2013-සැප්තැම්බර් 20 ඒ වන විට වයස අවුරුදු 24 පදිංචිය - හක්මන/දෙනගම