කොටකෙතනේදී ඝාතනයට ලක්වූ චන්ද්‍රානිගේ පුත්‍රයා ඇයව මරා දැමුවේ තමන්ගේ පෙම්වතියට අලුත් අවුරුද්ද සඳහා ඇඳුමක් මිල දී ගැනීම සඳහා මුදල් ලබා නොදුන් නිසා බව පාපොච්චාරණයේ සඳහන් වනවා.
සිද්ධිය සිදුවූ දිනයේ සැකකරු රාත්‍රි 8 ට නින්දට ගිය බව පැවසුවත් පොලිස් පරීක්‌ෂණවලදී ඔහු රාත්‍රි 10 වන තෙක්‌ම සිය පෙම්වතිය සමඟ ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩ හරහා සම්බන්ධ වෙමින් සංවාදයේ යෙදී සිට ඇති බව පොලිස් පරීක්‌ෂණවලදී තහවුරු වී තිබෙනවා.
මේ පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කළත් ඔහු දිගින් දිගටම පවසා ඇත්තේ තමා රාත්‍රි 8 ට නින්දට ගිය බවයි.
දිගින් දිගටම කළ පොලිස් පරීක්‍ෂණ හමුවේ සැකකරු කළ පාපොච්චාරණය අනුව සිය පෙම්වතිය සමඟ දිනක් පාරේ කතාබස් කරමින් සිටියදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා එය දැක මවට පවසා තිබුණා.
මව එම සිද්ධියට දිගින් දිගටම ඔහුට බැණ වැදී ඇති අතර එම ගැටලුව දින කිහිපයක් පැවතී ඇති බවයි පාපොච්චාරණයේ සඳහන් වන්නේ.
එසේම එළඹෙන සිංහල අවුරුද්දට තම පෙම්වතියට ඇඳුම් අරන් දීම සඳහා රුපියල් 3000 ක මුදලක් මවගෙන් ඉල්ලා ඇති අතර එය සිදු වී ඇත්තේ චන්ද්‍රානිව ඝාතනයට ලක්‌වූ දින (4) රාත්‍රියේදී.
එහිදී මවත් පුතාත් අතර වාදයක් ඇතිවී මහේෂ් විසින් මව තල්ලු කර ඇති අතර එහිදී චන්ද්‍රානිව බිමට වැටී ඇති අතර ඒ හේතුවෙන් ඇයට සිහිය නැතිවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අවස්‌ථාවේ ඔහු සිතා ඇත්තේ මව මියගිය බවයි.
ඝාතනයට තමා හසුවේය යන බිය ඔහුට පහළවී ඇති අතර කහවත්තේ ප්‍රසිද්ධ ඝාතන රැල්ල ආකාරයට මළ සිරුර සැඟවුවහොත් මිනීමැරුමෙන් බේරෙන්නට හැකි යෑයි ඔහු කල්පනා කර තිබෙනවා.
නිවසේ තිබූ මන්නා පිහිය ගෙන හිසටත් මන්නා පහරක් ඇතුළු පහරවල් කිහිපයක් එල්ල කර මෙය වෙනත් අයෙකු විසින් සිදුකළ ඝාතනයක් බවට ඒත්තු ගැන්වීමට ඔහු උත්සාහ දරා ඇත්තේ ඉන් පසුවයි.
පසුව නිවස පුරා ලේ විසුරුවා නිවසේ මිදුලේ ද ලේ විසුරුවා ඇගේ ලේ වහනය වන හිසට ෂොපින් බෑගයක් දමා මීටර් 500 ක් පමණ දුරින් වූ ඇළට රාත්‍රියේ ගෙන ගොස් දමා තිබේ. ඒ දිනය පොහොයට පසු දින රාත්‍රිය වූ බැවින් හඳපාන හොඳට තිබුණ බැවින් ඔහුගේ කාර්යය පහසු වී තිබෙනවා.
ගමේ එදා මළගෙයක් පැවති බැවින් සියල්ලන් එම මළ ගෙදරට රොක්‌වී සිටි නිසා ඔහුට බාධක අවම වී ඇති අතර පසුව ඔහු හැඳ සිටි සරම ද සඟවා මන්නා පිහිය වීසිකර දමා නිවසට පැමිණ නිදාගෙන ඇතැයි පාපොච්චාරණයේ සඳහන් වනවා.
මියගිය චන්ද්‍රානිගේ සැමියා ලබා දුන් කට උත්තරය අනුව තවත් කරුණු හෙළිවී තිබෙනවා.ඔහුගේ කට උත්තරය පහත පරිදි දැක්වෙනවා.
''පොළේ යන්න බඩු අහුරලා මළගෙදරට එනකොට රැ දහයමාරට විතර ඇති. පාන්දර දෙක විතර වෙනකම් මළගෙදර හිටියා. උදේ පොළට යන්න ඕන නිසා තමයි, ගෙදර ගියේ. ගිහින් දොරට ගහලා කිහිප වරක් 'චන්ද්‍රානි... චන්ද්‍රානි...' කියලා කතා කළා. ඒත් චන්ද්‍රානිට ඇහැරුණේ නෑ. පස්‌සේ මම දොරේ ලොක් එක කැරැකැව්වා. එතකොට නිකම්ම දොර ඇරුණා. මැදසාලේ මෙට්‌ටයක් දලා තිබුණා. මෙට්‌ටේ උඩින් පැනලා ගිහින් මම ලයිට් එක දැම්මා. මෙට්‌ටේ හැම තැනම ලේ. කවදාවත් මෙට්‌ට දාගෙන චන්ද්‍රානි සාලේ නිදාගන්නේ නෑ. එයා නිදා ගන්නේ කාමරේ. මම කාමරේ ලයිට් එකත් දලා බැලුවා චන්ද්‍රානි නෑ. කුස්‌සියෙත් ලයිට් එකක් දලා තිබුණ නිසා මම කුස්‌සියට ගියා. කුස්‌සිය තනිකරම ලේ ගොඩක්. තැනින් තැන මස් කෑලිත් තිබුණා. පස්‌සේ මම 'පුතේ... පුතේ...' කියලා කෑගැහුවා. ඒත් පුතාට ඇහැරුණේ නෑ. පස්‌සේ මම පුතා නිදාගෙන ඉන්න කාමරේ දොරට ගහනකොට පුතාට ඇහැරුණා... 'කෝ පුතේ අම්මා...' මම අහනකොට පුතා කිව්වා අම්මා කාමරේ කියලා. 'අම්මා කාමරේ නෑ. මෙට්‌ටේ උඩ ලේ තියෙනවා...' කියලා කිව්ව ගමන් පුතා කෑගහගෙන දොට්‌ට පැන්නා. පස්‌සේ මම කෑගහලා අල්ලපු ගෙදර බණ්‌ඩා අයියට කතා කළා. සද්දෙට ඒ ගෙදර පුතා දුවගෙන ඇවිත් කිව්වා අම්මයි තාත්තයි වෙලේ වාඩියේ කියලා. ඒ වාඩිය තියෙන්නේ අපේ ගෙට පහළ. පස්‌සේ අපේ කෑගැහිල්ලට බණ්‌ඩා අයියත් උඩට ආවා. මම මල්ලිටත් කෝල් කළහම එයත් ආවා. බණ්‌ඩා අයියයි, මල්ලියි තමයි පොලිසියට ගිහින් කිව්වේ. පස්‌සේ පොලිසියෙනුත් ඇවිත් එවෙලේ පටන් හැම තැනම හෙව්වා. දවස් දෙකහමාරකට පස්‌සේ තමයි ඇළේ ගහලා තිබිලා මිනිය හම්බ වුණේ. මට කිසිම දෙයක් හිතාගන්න බෑ. පහුගිය කාලේ ධර්මසිරි අයියලගේ කුඩු කේස් එක නිසා මිනී මැරුම් කිහිපයක් වුණා. නැවතත් ඒක මතු වුණාද කියලා සැකයක් තමයි තියෙන්නෙ. චන්ද්‍රානිවත් කපලා තිබුණේ පහුගිය කාලේ මරා දාලා තිබුණු අයව කපලා තිබුණු විදිහටමයි. අපි ඒවා බලන්න ගියානේ. මේකත් ඒ විදිහටම හැම තැනම කපලා. සෑහෙන්න වධ දීලා. මම ඊයේ ඉස්‌පිරිතාලේදී දැක්‌ක ලොකු කැපුම් පාරවල්. අත පය වෙන් කරලා. කෑලි කෑලි වෙන්න කෙස් හිටන් කපලා.''
මේ ඝාතනයට අදාළව විද්‍යාත්මක සාක්ෂි ගණනාවක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මව ඝාතනය කිරීමෙන් පසු ඇගේ මුදල් පසුම්බියේ තිබී ලබාගත් රුපියල් 400ක මුදලින් නෝට්ටු කීපයක සැකකරුගේ ඇඟිලි සලකුණු තිබී හමුවුණා.
එම විද්‍යාත්මක සාක්ෂි පිළිබඳ අවසන් තීරණයකට එළැඹීමට ඒවා රජයේ රස පරීක්ෂකවරයාට මෙන්ම ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ජින්ටෙක් ආයතනයට යවා ඇති බවද පොලිසිය සඳහන් කළා.
සැකකරු සමඟ පෙම්බැඳ සිටි තරුණියගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඝාතනය සිදුවූ දින රාත්‍රියේ සැකකරු පෙම්වතිය සමඟ ජංගම දුරකතනයෙන් කෙටි පණිවුඩ 121ක් යවා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.