“අම්මා ගුටි කන්න පුරුදු වෙලා හිටියේ... තාත්ති කොච්චර නරක වුණත් අම්මා එයාට ආදරෙයි..”
“අම්මගේ කොණ්ඩෙන් අල්ලගෙන බිත්තියේ ගැහුව හය හත් පාරක්...”
“අන්තිමට අම්මා වැන්ඳා තාත්තාට... එයාටයි මටයි කරදරයක් කරන්න එපා කියලා..”
"පුංචි දරුවෙක්ගෙන් එහෙම අහන එක හරි මදි නේද?" මම ආයෙමත් ඒ දේට අදිමදි කළා. ඒත්... අරූ ඔළුව දෙපැත්තට දැම්මා විතරයි..
"හරි නැහැ.. කොටින්ම එහෙම අහන්න ඕනි නෑ.. ඒත් අපිට වෙන විකල්පයක් ඉතිරි වෙලා නැහැ. අපිට සිද්ධ වෙනවා ඒ දේ කරන්න..."
"මම හිතන් නෑ... තමන්ගේ තාත්තා අතින් එහෙම දෙයක් වුනා කියන එක, එයාට දරාගන්න පුළුවන් වෙයි කියලා... අවුරුදු 14ක ළමෙකුට..." මම එහෙම කිව්වේ නෝට් බුකිය අතට අරගෙන. උසාවි සංකීර්ණය "නිශ්ශබ්ද කලාපයක්" බවට පත් වෙලා තියෙද්දී, සුරූපී තරුණියක් අර පුංචි දෝණිව ඉඹගෙන ගියා. හරියට පරණ කෝන්තරයක් පිරිමහන්නා වගේ මුහුණේ කිසිදු භාව ප්‍රකාශනයක් නැති මේ පුංචි එකිව මම මගේ ළඟට කරගත්තා. ඒකිගේ ළා නිල් පාට ඇස් තාමත් දිලිහෙනවා... වෙච්ච කිසිම දෙයක් නොදන්න අහිංසකී!!