“එකත් එකටම මොකක් හරි කතාවක් අහුලන් යන්න වෙන්නැති ඔයා ආවේ...?” රුවී දැන් වෙනස්. ඉස්කෝලේ කාලේ උන්නු පුංචි කෙල්ල නෙවෙයි. සුදු සාරිය.... කෝට් එක.. එයාට අමුතු පෙනුමක්.. ඒත් අර හිනාව... එහෙම් පිටින්ම මිනිස්සුන්ව කියවන්න ගන්න අතිවිශිෂ්ඨ හැකියාව... හැංඟිච්ච මංතීරු එළි පෙහෙළි කරන කුසලතාවය... තව දුරටත්.. නැහැ.. ඇත්තටම තව දුරටත් අවශ්‍ය නැහැ..
“මෙයාගේ නම...?” මම ලැප්ටොප් එක දිග ඇරියා. කොන්ක්‍රීට් තට්ටුවකට බර දීලා හිටපු අර කතා නායිකාව පළවැනි වතාවට ඔලුව උස්සලා බැලුවා.
“තහනම් ප්‍රශ්න...” රුවී හිනාවුණා.
“ඕකේ.. දෙන්... අ.... කොතනින්ද පටන් ගන්නේ..?” මම මගේ කැඩිච්ච අත් ඔරලෝසුව දිහා බැලුවා. ඒක එක තැනක නැවතිලා... තප්පර කටුව කොහේවත්... විනාඩි කටුව කොහේවත්... කෙහෙම්මල! මේක මහා හිසරදරයක්!!
රුවී මට කතා නායිකාව භාර දීලා අස්ථානගත වුනා. කොන්ක්‍රීට් තට්ටුවක් එක්කලාද මන්දා ටික වෙලාවක් මුමුණපු අහිංසකී කතාව පටන් ගත්තා. (අමතක වුණා. ඔබ මවාගන්න අතිදක්ෂයෙක් නම් ඈව මවාගන්න දැන්. ඇගේ මුහුණ ඇත්තටම මට පේන්නේ නැහැ. ඒත් මට කියන්න පුළුවන් ඈ රූමතියක්. වචනේ අර්ථයෙන්ම ඔබ තමුන්වහන්සේලා කියන්නා වගේම පට්ට කෑල්ලක්.)
“අද උසාවි ආවේ..?” ඒක මගේ ප්‍රශ්න කිරීමේ සාම්ප්‍රදායික රටාව නෙවෙයි. කොහොමත්... අද මේ රටාව අතිශය වෙනස්...............
“මගේ හස්බන්ගේ නඩුවක් යනවා. මේ හතරවැනි පාර මම උසාවියට ආපු...” ඇය කියාගෙන යනවා.
“සෝ... මම බොහෝම ආසයි දිග කතා අහන්න... හැබැයි පුළුවන් තරම් හෙමින් කියනවද? ප්ලීස්.. මොකද ඉස්සර වගේ නෙවෙයි.. මට වේගෙන් ලියන්න අමාරුයි.. පේනවනේ.. මගේ අකුරුවල හැටි... සමහර වෙලාවට මේ ඉලව් අකුරු මටම කියවගන්න බැරි අවස්ථා එනවා..” මම මගේ කුරුටුබලි ඒ කෙල්ලට පෙන්නුවා. තාමත් ස්කාෆ් එකෙන් වැහිච්ච මුහුණ මට පෙන්වන්න අපහසුවෙන් එයා ඒ මේ අත බැලුවා.
“මගේ ගම මාතර..... දැන් මට අවුරුදු 19යි.... සම්පත් අයියාත් එක්ක පැනලා එද්දි දහ අට පිරුණා විතරයි... ඒක තමයි මම ජීවිතේ කරගත්ත ලොකුම වැරැද්ද.. මගේ අම්මටයි තාත්තාටයි හොඳට සල්ලි තියෙනවා. එයාලා සල්ලිකාරයෝ ඇත්තම කිව්වොත්.. තාත්තා කළේ බිස්නස් වැඩ.. අම්මත් ප්‍රයිවට් ජොබ් එකක් කළා.. සම්පත් අයියා ඒ වෙද්දි රස්සාවක්වත් හරියට කරපු කෙනෙක් නෙවෙයි.. මම නිකරුනේ එයාගේ බහට රැවටුනා... ඒ වෙද්දි මම මගේ මුළු ලෝකෙම එයා කියලයි හිතුවේ. එක්කෝ එයා හූනියමක් කළා වෙන්න ඕනි අපේ අම්මා කියපු විදිහට... මම ලස්සන නිසා එයා මාව රවට්ට ගත්තා කියලයි එයාලා කිව්වේ....”
“සම්පත් අයියලා මහගෙදර මම උන්නේ.. අපේ සතුට වැඩි කාලයක් තිබුණේ නැහැ... එයා බොනවා... ඇවිත් මට තඩි බානවා.. ගෙදර රංඩු.. උයන ඒවා පොළවේ ගහනවා.. කුණුහරප කියනවා.. ස්ථිර රස්සාවක්වත් එයාට නැහැ... බැරිම තැන මම ගෙදර යන්න හැදුවත් එයා මට යන්න දෙන්නේ නැහැ... ඕම ඉද්දි මට කොමිනියුකේෂන් එකක වැඩ හම්බුණා.. එතනදී තමයි මට සුධාර හම්බුණේ.. සුධාර අයියාට මම මගේ ප්‍රශ්න කියනවා. එයා මට හරියට අනුකම්පා කළා.. ඒ අනුකම්පාව අන්තිමට ආදරයක් වුනා. එයාට මාව නැතුවම බැරි වුනා.. ඒත් මම සම්පත්ට ද්‍රෝහි වෙන්න හිතුවේ නෑ.. සුධාර අයියා ගැන මගේ හිතේ තිබ්බේ ගෞරවයක් විතරයි. ඒ ඇරෙන්න සම්පත් අයියා මගේ ජීවිතේ වෙලා ඉවරයි. කොටින්ම මගේ හැමදේම එයා කියලා මම සුධාර අයියට තේරුම් කළා.. ඒත්.... ඔය අස්සේ සම්පත් මාව සැක කළා. එයා හිතුවා මම සුධාර අයියා එක්ක අනියම් සම්බන්ධයක් පටන් අරන් කියලා...?”
“ඇත්තටම ඔයාගේ හිතේ සුධාර හිටියේ නැහැ...?” මම හරියට උසාවියක විත්ති පාර්ශවයක නියෝජනයක් වගේ.. ඒත් මට රුවී තරම් තර්ක කිරීමේ හැකියාවක් නෑ. ඒත් මම ආසයි මේ ජීවිත කතන්දර-වල මට හිතූ හැටියේ කරණම් ගහලා බලන්න.............
“අනේ නැහැ දෙයියනේ... සම්පත් අයියා මගෙන් පළිගත්තා... මම නොකරපු දේකට... එයා මගේ මූණට මේ දේ කළා...”
ඇය එහෙම කියලා ස්කාෆ් එකෙන් වැහුණු ඇගේ මුහුණ පේන්න ඇරියා..
“වට් ද...............? හත් දෙයියනේ...!! මේ මොන අපරාධයක් ද?” මට කෑ ගැහුනා. ඇස් පුංචි වුනා. කොටින්ම මේ රූමතියගේ හැඩ පාට ගල්වන්න බැරි වෙද්දි මම ඈව මවපු විදිහ ගැන සත්තකින්ම මට දුක හිතුණා. දරුණු ඇසිඩ් ප්‍රහාරයකින් ඒ මුහුණු පොඩ්ඩ පිළිස්සිලා ගිහින්.. අඳුනගන්නවත් බැරි තරමේ විරූපී පෙනුමක්.. මට හිතාගන්න බෑ ඇය කොහොම දරාගත්තද කියලා.. සත්තකින්ම මට මවාගන්න අපහසුයි මේ තැනැත්තී එච්චර ගිනි ජාලාවක් මැද්දෙත් අර විදිහට හිනාවෙන එක.. මා දිහා බලාගෙන කතා පවත්වන එක...
“එයා මට ඇසිඩ් ගැහුවා අයියේ.. කොමිනියුකේෂන් එක ළඟටම ඇවිත්... දෙයියනේ!! එදා තමයි මගේ ජිවිතේ අවාසනාවන්තම දවස... මට සිහිය එද්දි මම හිටියේ හොස්පිට්ල් එකේ.. මම දැනගත්තා.. ආයෙම මම ඉස්සර කෙනා නෙවෙයි කියලා.. මට දැන් කණ්ණාඩියෙන් මගේ මූණ බලපු කාලයක් මතක නෑ..?” ඇගේ මුහුණේ කැළැල් ඇතුළින් තඩිසි කඳුළු බිංදු කුළුණු තනන්න ගන්නවා. මම නිසොල්මනේ ඒ දිහාවම බලන් උන්නා.
“එතකොට මේ උසාවි එන්න හේතුව ඒ සිද්ධියද? සැමියා විසින් බිරිඳට එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයක්... ඒක මාර අවුල් අහනකොටත්..”
“නැහැ.. ඒක නෙවෙයි හේතුව...”
“මොකක්? එහෙනම්...........?”
“ඒක සිද්ධ වෙලා හුඟක් කල්..... මම පොලිසියේ පැමිණිලි දැම්මේ නැහැ.. මොකද මම සම්පත් අයියට ආදරේ නිසා.. එයාව කූඩු කරලා මට සතුටක් ලබන්න බැහැ.. මොකද්දෝ හේතුවකට මට එයාගෙන් යන්න බෑ.. මම එයාට මාරම ආදරෙයි...! මට මොන දේ කළත් ඒ මගේ මිනිහනේ කියලා මට හිතෙනවා..” මේ කෙල්ල අඬනවා. හොඳටෝම අඩනවා. සත්තකින්ම මේ ෆැන්ටසියක් වෙන්න බැහැ. මම ආයෙම මගේ ඇස් කාච පිරිමැද බැලුවා.
“ඔයා මාර කෙල්ලෙක්නේ..?”
“සම්පත් අයියා ඉස්කෝලේ යන පුංචි කෙල්ලෙක්ව රේප් කරලා අයියේ... එයා කාලයක් ස්කූල් වෑන් එකක වැඩ කළා. ඒකේ හිටපු ගර්ල් කෙනෙක්ව තමයි මෙයා දූෂණය කරලා තියෙන්නේ... අනේ ඒ පුංචි කෙල්ල හරිම ලස්සනයි... බෝනික්කියක් වගේ.. මම දන් නෑ මේ නරුමයාට ඒ වගේ තිරිසන් ආසාවක් කොහොම ඇති වුනාද කියලා.. සම්පත් අයියා ඒ කෙල්ලව හපලා හූරලා විනාශ කරලා.. ඒ මදිවට ඒ කෙල්ලව මරණවා කියලා තර්ජනයත් කරලා.. මේවා කාට හරි කිව්වොත් එයාගේ ජීවිතේ හිතාගන්න බැරි විදිහට විනාශ කරනවා කියලා එයා තර්ජනය කරලා... හිතන්න ඉතින්... ඒක කොයි තරම් ජරා වැඩක්ද?”
මම පුදුමයෙන් මං මත් වෙලා මොකද්දෝ හුදකලාවක අතරමං වෙලා හිටියා. ආයෙම ස්කාෆ් එක පොරෝගත්තු මේ ඇත්තිගේ මුහුණු පොඩ්ඩ බලන්න වරමක්වත් නැතිකොට මේ අයිතිකාරියගේ කතාවේ අවසානයක් මට හිතාගන්න බැරිවුනා.
“එතකොට එයා දූෂකයෙක්..? ළමා අපචාරකයෙක්..? කොටින්ම තිරිසනෙක්..? ඔයා මොනාටද මෙතනට ආවේ.. එතකොට..?”
“ඔව් එයා එහෙම කෙනෙක්... එයාගේ නඩුව තාම අහනවා. අර ඔයාගේ යාළුවා කවුද... නම මතක නෑ.. අර මිස්... එයා තමයි ඒ ගෑනු ළමයාගේ පැත්තට කතා කරන්නේ.. මම ආවා.... මොකද සම්පත් අයියා තාමත් මගේ කසාඳ මිනිහා හින්දා.. ඒ යක්ෂයා මගේ මූණ විරූපී කරත්... පොඩි කෙල්ලෙක්ට මේ විදිහේ ජරා අපරාධයක් කරත්.. මොකද්ද මන්දා.. මම ඒ මිනිහට ආදරෙයි... දන්නවද? එයා වෙලාවකට පොඩි එකෙක් වගේ අඬනවා.. මගේ ඔඩොක්කුව ඉල්ලගෙන... එයා සමාව ඉල්ලනවා මගේ මූණ කැත කළාට.. එයා මාව ඉඹිනවා.. මහා වේගෙන්.. වඳිනවා මගේ කකුල් දෙක අල්ලලා එයාව දාලා යන්න එපා කියලා.. එහෙම කියපු එයා මේ වගේ අපචාරකයෙක් වෙලා අද... අදත් එයා කූඩුවට වෙලා අඬනවා.. මම එද්දි තවත් හයියෙන් අඬනවා.. මම ආස නෑ මගේ මිනිහා අඬනවට... මට ඕනි නෑ එයාව නිදහස් කරගන්න.. මොකද එයාට දඬුවමක් ලැබෙන්න ඕනි.. ඒ කියලා මම උත්සහ කරන් නැතුවත් නෙවෙයි.. මගේ මිනිහට දෙවියෝ දඬුවම් දෙයි.. ඒත් මම දන්නවා... එයා ආයෙම ආවත් මගේ ඔඩොක්කුවට වෙලා අඬන්න ගනිවී.. සමාව ඉල්ලන්න ගනිවී...”
මට හිතාගන්න බැරිවුණා මුකුත්.. මේ “පුදුමාකාර ගැහැනිය” ගැන.. මම ඈව කියව්වා මදිදෝ හිතුනා. ඈව මුණ ගැහුනේ අහම්බෙන් වුනත් මම ඒකට සතුටු වුනා.. නොහිතපු විදිහේ කතා පොතක් ඇතුළේ මාව අතරමං කෙරුවා වුනත් මම ඒකට කැමති වුනා..
“ඒක මහා අමුතුයි.. ඒත් මම ආසයි ඒ කතාවට...”
“ඒත් මම ආස නෑ..............”
“ම්ම්ම්ම්.... කොයි දේ වුනත් වෙන දේ බලන් ඉමු...! සමහර විට ඔයාගේ හස්බන් හොඳ කෙනෙක් වෙන්න ඉඩ තියනවා. ලෝකේ ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ඇත්තටම...”
“මට අදටත් දුකයි මගේ අම්මා තාත්තා ගැන.. ඒත්.. එයාලා මට ආදරේ කළේ නෑ. හැමදාම එයාලා හිතුවේ හම්බකරන එක ගැන.. තාත්තාට ඕනි වුනේ එයා එක්ක ෆයිට් කරපු අනිත් බිස්නස්කාරයන්ට වැඩිය හොඳ කාර් එකක් ගන්න, එයාලාත් එක්ක ෆයිට් කරන්න.. අම්මටත් එහෙමයි...! එයාලට මාව චුට්ටක්වත් වටින කෙනෙක් වුනේ නෑ.. මම හිටියේ තනියම කාමරයකට වෙලා අඬ අඬා.. මාව ඔඩොක්කුවට ගන්නවත්.. අඩුම ගානේ උරහිසට වාරු කරගන්නවත් එයාලට වෙලාවක් නැති වුනා..” ඇගේ කතාව නැවතුණා. මම රුවීට මැසේජ් එකක් දාලා එතැනින් නැගිට්ටා.
“ම්ම්ම්... ස්තුතියි.. ඒ කතාවට... මම ඔයාට දාන නම.. ම්ම්ම්... ටිකක් ඉන්න... සුලෝචනා වගේ නමක්.. අවුලක් නෑනේ...?” මම ඇයට අන්තිම පාරට අතට අත දුන්නා.
(සුලෝචනා මට මට මුණ ගැහුනේ මීට වසරකට පමණ ඉහතයි. ඒ වන විටත් ඇගේ සැමියා වූ සම්පත්ගේ නඩු විභාගය පැවැතුණු අතර... ඊයේ පෙරේදා දවසක මගේ දුරකථනයට ගොඩ උනු රුවී කීවේ නඩු විභාගයක අවසන් වූ බවයි.. සම්පත්ට දූෂණ චෝදනා මත වසර තිස් ගණනක සිර දඬුවම් හා වන්දි ගෙවන ලෙස ද නියෝග කළ බව ඇය කියනවා. සුලෝචනාත් තීන්දුවදා ඇවිත් හිටියලූ. මෙහි එන නම් ඔවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කොට ඇති බව කරුණාවෙන් සලකන්න.)