දෙහිවලදී දුම්රිය අනතුරෙන් මියගිය තරුණියන් දෙදෙනාගේ CCTV දර්ශන නිකුත් වීමත් සමඟ ඇතැමුන් ඔවුන් හිතාමතා දුම්රියට පැන්න බවට විවිධ අදහස් පළකර තිබෙනවා. මේ සියළු කටකතා අතර මියගිය ඉමේෂී නම් තරුණියගේ මව පවසා තිබෙන්නේ 25 වන දින ඇය දෙහිවල රාත්‍රී සාදයකට යාමට සිදුවන බව දන්වා සිටි බවත් මේ මරණයන් සම්බන්ධයෙන් කිසිදු අවිශ්වාසයක් නොමැති බවයි.
එමෙන්ම මියගිය ඉමේෂිගේ පවුලේ හිතවතෙකුද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළකර සිටියා. ඔහු පවසා ඇත්තේ ඉමේෂි හා ගල්කිස්සේ තවත් යාළුවෙක් උපන් දිනය සමරන අයව පුදුමයට පත් කරවන්න කටයුතු සූදානම් කර තිබූ බවයි.
ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්...
“මියගිය ඉමේෂිගේ පවුලේ මම හොඳ හිතවතෙක්. ඇයට පල්ලියේ ඥාන මව්පියන් වුණෙත් මමයි. එයා මලල ක්‍රීඩාවලට වගේම දැල්පන්දු ක්‍රීඩාවටත් දස්කම් දැක්වූවා. ඇය මෙම අගෝස්තු මස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටියා. අප්‍රේල් 25 එයාගේ පාසලේ අන්තිම දිනය. එදාම එයාගේ හොඳම යාළුවකුගේ උපන් දිනයකුත් යෙදිලා තිබුණා.
ඉතින් යාළුවෝ කිහිප දෙනෙක් එකතුවෙලා අර යාළුවට උපන් දිනය වෙනුවෙන් පොඩි පාටියක් ලෑස්ති කරලා තියෙනවා. ඒ සඳහා ඒ අය තෝරාගෙන ඇත්තේ ගල්කිස්ස කිට්ටුව පොඩි ආපන ශාලාවක්. ඒ අතර මෙයයි තව ගල්කිස්සේ යාළුවෙකුයි කතාවෙලා තියෙනවා උපන් දිනය සමරන අයව පුදුමයට පත් කරවන්න.
අනතුර දුටු අය කියනවා දුම්රිය මාර්ගය මැද මේ දෙදෙනා දෙපැත්තට ඇද්දා කියලා. ඉයර් ෆෝන් එකත් කනේ රඳවාගෙන හිටිය බවත් කියනවා. කොහොම වුණත් අපිට මිල කරන්න බැරි ජීවිතයක් නැති වුණා. අපිට තවම හිතාගන්න බැහැ මේ මොකක්ද වුණේ කියලා.‘‘
එමෙන්ම මියගිය අනෙක් තරුණිය ෂැරෝන් වෙරොනිකාගේ සොහොයුරා සිද්ධිය සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙවන් දෙයක්...
නංගී පාසල් ගොස් සවස උපන් දින සාදයකට සහභාගි වීමට දෙහිවල ප්‍රදේශයට ගොස් තිබෙනවා. ඒ යන අතර හෝටලය තුළ තවත් යහළුවන් තිදෙනෙකු සිටිනවා දැක ඒ සතුටට එක එල්ලේ දුම්රිය හරස් මග ඔස්සේ යද්දී දුම්රියේ හැපුණු බව දැනගන්නට ලැබුණා. අපි පවුලේ තිදෙනායි හිටියේ. ඒ තාත්තා, නංගී සහ මායි. අපේ අම්මා මියගිහින්. 24 වැනි දින සවස නංගී අපිට දැනුම් දුන්නා 25 පාසල් ගොස් එදින සවස ගෙදර නොපැමිණ කෙළින්ම දෙහිවල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වෙන මිතුරියකගේ උපන්දින සාදයකට යනවා කියලා.
ඒ අනුව 25 රාත්‍රී 7.30 ට පමණ නංගිගේ යාළුවෙක් දුරකථනයෙන් කතා කර කීවේ නංගී හදිසි අනතුරකට ලක්වෙලා රෝහල් ගතකළා කියලයි.
අපේ නංගී මේ වසරේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයට බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම බාලිකා පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියේ. ඒ අනුව 25 දා පෙ.ව. 6.15 ට පාසල් යාමට පාසල් වෑන් රථයට ගොස් තිබුණා. පාසල් ගොස් සවස පෙර කියූ පරිදි දෙහිවල උපන් දින සාදයකට ගොස් තිබෙනවා. ඒ යන අතර හෝටලය තුළ යාළුවෝ තිදෙනකු සිටින බව දැක ඒ ප්‍රීතියට එක එල්ලේ දුම්රිය හරස් මග ඔස්සේ හෝටලයට ගොස් තිබෙනවා. පස්වරු 7.32ට පමණ කොළඹ සිට දකුණු කළුතරට යන දුම්රිය පැමිණ මේ දෙදෙනා ගැටී අනතුරට ලක්වෙලා තිබෙන බව දැනගන්නට ලැබුණා.
පසුව යාළුවන්ගේ දැනුම්දීමට අනුව දෙහිවලට එන විට මෘත ශරීර දෙහිවල දුම්රිය ස්ථානයට ගෙනගොස් පසුව කළුබෝවිල රෝහල වෙත ගෙනගොස් තිබුණා.
මියගිය ඉමේෂි යෂාරා පෙරේරා (18) සිසුවියගේ මව වන ටානියා වෙරෝනිකා පෙරේරා මහත්මිය තම දියණියගේ හදිසි වියෝව සම්බන්ධයෙන් මෙලෙස පවසා තිබුණි.....
මියගොස් සිටින්නේ මගේ ලොකු දුවයි. ඇයට වයස අවු. 18ක් වන අතර මෙවර අපොස (උසස් පෙළ) විභාගයට බම්බලපිටිය බාලිකා පාසලක අධ්‍යාපනය ලබමින් සිටියා. 25 වන දින ඇය දෙහිවල රාත්‍රී සාදයකට යාමට සිදුවන බව දන්වා සිටියා. ඇය එදින සවස අනතුරකට ලක්වෙලා එහි රියැදුරු වෙනත් වෑන් රථයක් ගෙන්වාගෙන සියලු ළමයි පාසල් වෙත යවා තිබෙනවා. එදින යාළුවෙකුගේ උපන් දින සාදයක් දෙහිවල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වෙන බැවින් ඒ සඳහාද සහභාගි වීමට සිදුවන බවත් කියා සිටියා.
එදින මගේ ස්වාමි පුරුෂයාට අසනීප වී බෙහෙත් ගැනීමට වෛද්‍යවරයකු වෙත ගොස් සිටින විට දුවගේ දුරකථනයෙන් කීප විටක් ඇමතුම් ලබා දී තිබුණා. ඒ වනවිටත් ප.ව. 7.20ට පමණ ඇති. මට දුරකථනයට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූ නිසා වෛද්‍ය පරීක්ෂණයෙන් පසු එළියට පැමිණ එම අංකයට කතා කළා. එවිට දැනගත්තා දුව අනතුරකට ලක්වෙලා කියලා. දෙහිවල පැත්තේ කියලා.