තාත්තා යනු ...
තාත්තා යනු බාධාවයි.
තාත්තා යනු ප්රතිවිරෝදයයි.
තාත්තා යනු ඔබ ඉතාම ආදරය කළ ගැහැණියගේ ඔබට අයිති නොවන කොටසේ හිමිකරුවායි.
ඒ නිසාවෙන්ම ඔබ නොදන්නා ඔබේම ඉරිසියාවකට ලක්වෙන්නායි.
තාත්තා යනු ඔබව ගල් දොරකින් වසා දමා හිරකරකන්නායි.
තාත්තා යනු ශක්තිය පිළිබඳව හැඟීම ඔබේ ඔළුවේ තැන්පත් කළ පුද්ගලයායි.
එනම් ඔබ කොයිතරම් දුර්වලද කියා ඔබට නැවත නැවත මතක් කළ උද්දච්ච මිනිහායි...
තාත්තා යනු තාප්පය වඩ වඩා උස්සමින් ඔබව සීමාකරන්නායි... තාත්තා යනු ඔබේ ජීවිතේ පළවෙනි විරුද්ධවාදියායි.......
තාත්තා යනු ඉතාම ආරක්ෂිතම ප්රතිවිරෝදියායි......
දැන් තාත්තා යනුවෙන් ඔබ ඉදිරියේ නැගී සිටින "බාධාව" බිඳ නොහෙලා ඔබට නිදහස්ව ඉදිරියට යා නොහැකි වෙයි.
දැන් ඔබ ගල්දොර පෙරළිය යුතුය.
දුන්නෙන් ඊතලය ඔහුගේ පපුව පසාකරගෙන යන්න විදිය යුතුය.
එවිට ඔහු හා ඔහුගේ තාප්පය ඇදවැටී ඔබේ ලෝකය ඔබ ඉදිරියේ උදාවෙයි...
ඔබ ඔබේ ලෝකය ගොඩනඟන්නේ කුඩුකරදැමූ තාත්තාගේ ලෝකයේ නටඹුන් සහ අළුමතිනි.
තාත්තා සිටින්නේ කුඩුකර දැමීමටය. කුඩුවීමෙන් පසු දැන් ඔබ ශක්තිමත්, ඔබ මාර පොරක් කියා ඔබට ඒත්තු ගැන්වීමටය....
තාත්තාගේ උරුමය කුඩුවීමය.
පරාජිතවීමය. ඔබ බිය, ගෞරවය ආදිය යනුවෙන් හදාගෙන උන් ඔහු විසින් ගොඩනැඟූ ඔබේ මානසික පවුරු ඔබ බිඳගන්නා තෙක් වඩා ශක්තිමත්ව ඒවා ගොඩනැංවීමය.....
දැන් ඔබ තාත්තා කුඩුකරයි.
පරාජිත තාත්තා ඔබට කිරුල බාරදී බැසයයි.....
බැසයන පරාජිත දුර්වල තාත්තාට පළවෙනිවතාවට ඔබට "ආදරය" හිතෙයි......
දැන් ඔබ තාත්තාට ආදරය කරන්නට පටන්ගනියි.....
ඉන්පසු ඔබ තාත්තෙක් බවට පත්ව ඔබේ දරුවන් වටා පවුරු බඳින විට, හිරකරන විට, බාධාව වනවිට ඔබේ තාත්තා එහෙම කර තිබෙන්නේ ආදරය නිසා නොවේදැයි හිතමින් ඔබ ඔබවම රවටා ගනියි.
ඔබ පවුරු බැඳීම, බාධා කිරීම්, හිරකිරීම් " ආදරය " ලෙස නැවත වරනඟයි...
එහෙත් ඔබේ පුතා නැවත ඔබව කුඩුපට්ටම් කරයි.....
පුතාගෙන් කුඩුවනවිට ඔබ ඔබේ තාත්තාට වඩ වඩා ළංවෙයි.....
ඉතින් ඔබට ඔබේ තාත්තාට ඇත්තටම ආදරය කරන්නට වෙන්නේ ඔබේ පුතාගෙන් ඔබ කුඩුපට්ටම්ව, බිඳවැටීයන දවසේය......
ඔබේ පුතා ඔබේ පපුවට ඊතලය එවන දවසේය.....
මෙයින් පිටස්තර උතුරාගලායන ප්‍රේමයෙන් මුසපත් තාත්තෙක් වෙයිද ඒ තාත්තෙක් නොව 'පිරිමි' අම්මෙකි.
බාධාවක් ලෙස කුඩුකොට දැමිය යුතු අම්මෙක් වේද ඒ අම්මෙක් නොව ඒ 'ස්ත්‍රී' තාත්තෙකි.....
මම එලෙස එක කලක එකෙක් කුඩුපට්ටම්කොට, තවත් ටික කලෙකින් කුඩුවන්නට බලාපොරොත්තුවෙන් සිටින "තාත්තෙකි"......
දැන් මවිසින් කුඩුපට්ටම්කරනලද "තාත්තා" වඩා ළංව මටම දැනෙයි..........