ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර පොලිසිය සහ එහි සිටි පිරිස අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් ඊයේ (7) නගරය පුරා කළු කොඩි ඔසවමින් විරෝධතාවයක් පැවැත්වුණා.
මෙම සාදයට පොලිසිය පැමිණ අරක්කු ඉල්ලූ බවත් එය නොදුන් නිසා පහරදුන් බවත් නිවෙස් හිමියන් පවසන අතර පොලිසිය පවසන්නේ අන් අයට බාධාවන ලෙසින් සාදය පැවැත්වූ නිසා එම ස්ථානයට ගොස් සොයාබැලූ අතර එහිදි බීමත්ව සිටි පිරිස් පොලිසියට පහරදුන් බවයි.
ඇඹිලිපිටිය නගරයේ සියලූම කඩ සාප්පු වසා දමා කළුකොඩි ඔසවා, ටයර් ද පුළුස්සා ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වුණු අතර මිනී පෙට්ටියක් ද ඔවුන් විරෝධතාවට රැගෙනවිත් තිබෙනවා.
විරෝධතාව හේතුවෙන් ඇඹිලිපිටිය නගරයේ සිට හම්බන්තොටට, මිත්දෙණියට සහ රත්නපුරයට ගමන් ගන්නා මාර්ගය ඇතුළු සියලූ මාර්ග ද අවහිර වී තිබුණා.
ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පසුගිය 4 වනදා නිවසක පැවති සාදයකදී පොලීසිය සහ එහි සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුව, බරපතල තුවාල ලබා රත්නපුර මූලික රෝහලට ඇතුළත් කරසිටි 29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධන ඊයේ (07) උදෑසන ජීවිතක්ෂයට පත්වුණා.
ඔහුට ශල්‍ය කර්මයක් ද සිදුකළ අතර එහිදී ඔහුගේ වම් අත ද ඉවත් කර තිබුණා. මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයා ඇතුලූ තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇඹිපිලිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඊට පොලිස් නිලධාරින් සිව් දෙනෙකු ද ඇතුළත්ව තිබුණා.
කෙසේවෙතත්, මේ වනවිට රෝහලේ දෙදෙනෙකු ප්‍රතිකාර ලබන අතර පොලිස් නිලධාරින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයාට වයස අවුරුදු 7 ක දියණියක් ද සිටින අතර, බිරිඳ ද ගැබිණියක් වන බවයි වාර්තා වන්නේ. සාදය පැවති ස්ථානයට රාත්‍රියේ පැමිණි පොලීසියේ නිලධාරින් පිරිසක් එහි සිටි පුද්ගලයින්ගෙන් මත්පැන් ඉල්ලා ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. මේ වනවිට ඇඹිලිපිටිය නගරයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්දයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ දැඩි සේ කම්පා වී ඇති අතර ඇය ගැබිනියක්ද වනවා. ඇය මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්....
ඔය ඒ.එස්.පී. කියන බල්ලා මරන්න ඕනි, ඕකත් ඇදගෙන ගිහින් අතනින් පල්ලට දාන්න ඕනි, පොලුවලින් ගගහා ඇදගෙන ගියා, මම කීවා මට බබෙකුත් හම්බවෙන්න අනේ ගහන්න එපා කියලා,
මෙහි වීඩියෝව පහතින්.....VIDEO