මේ සංජානා සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්.
කොහොමද මේ දවස්වල ජීවිතේ ?
මේ දවස්වල ජීවිතේ හොඳයි. සතුටින් ගෙවෙනවා. ජීවිතේ වෙනස්වීමක් සිදුවුණා. ඒ වෙනස්වීමත් එක්ක ජීවිතේ හොඳින් සතුටින් ගෙවෙනවා.
ජීවිතේ සිදුවුණු සුබ වෙනස මොකක්ද කියලත් කියමු?
ඔව්. ඇත්තටම මම පසුගියදා විවාහ ගිවිස ගත්තා. මට දැන් ස්වාමිපුරුෂයෙක් සිටිනවා. ඒක තමයි ජීවිතේ සිදු වූ සුබ වෙනස. අපි ලබන අවුරුද්දේ දී විවාහ මංගල්‍ය උත්සවය ගන්න සිතා ගෙන සිටිනවා.
විවාහ ගිවිස ගැනීම සිදු කළෙත් වෙනස් ආකාරයකට ඒ ගැන කතා කරමු?
ඔව්. මමයි විහඟ අයියයි කතා වුණා වෙනස් දෙයක් කරමු කියලා. ඒ අනුව පෝර්ට් සිටි එකේ යොට් එකක තමයි අපේ විවාහ ගිවිස ගැනීම සිදු කළේ. ඒක වෙනස් විධියේ අත්දැකීමක්. යොට් එකේ ඉන්න අවසර දීලා තිබුණේ 30 දෙනකුට පමණයි. ඉතින් එයට සහභාගි වුණේ මගේ තාත්තා, නංගි සහ මගේ ළඟම යහළුවෝ පිරිස පමණයි. විහඟගේ පැත්තෙනුත් එහෙමයි. බොහෝ පිරිසකට කියන්න අවස්ථාව ලැබුණේ නැහැ.
ඔබේ ජීවන සහකාරයා මුණ ගැසුණු විධිය ගැනත් කියමු?
මට ඔහුව මුණගැසුණේ මීට අවුරුදු කිහිපයකට පෙරදීයි. ඔහුගේ මියුසික් වීඩියෝවකදි තමයි අපි දෙන්නා මුලින්ම මුණගැසුණේ. ඒ කාලයේ අපි මිතුරන් විධියට ඇසුරු කළා. කාලයක් යනවිට ආදරයක් ඇති වුණා. ඔහු ආදරය ප්‍රකාශ කළා. ඉතින් අපි ආදරය කරන්න පටන් අරගෙන දැන් වසරකට වැඩි කාලයක් ගෙවිලා තිබෙනවා.
ඔහු ගැන විස්තර ටිකක් කියමු?
ඔහු විහඟ තිවංක. ඔහු ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ. මේ දිනවල ඔහු ඉගෙනීම් කටයුතු සිදු කරන අතරවාරයේ ව්‍යාපාර කටයුතුත් සිදු කරනවා.
ඔබව විස්මයට පත්කරපු විවාහ යෝජනාව සිදුවූ ආකාරය ගැනත් මතක් කරමු?
ඇත්තටම ඒක ප්ලෑන් කරලා කරපු දෙයක් නොවෙයි. මම ඇත්තටම විස්මයට පත්වුණා. විහඟ කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට ආවා ගියා. ගියවර ඔහු පැවැසුවා සිංගප්පූරුවට පැමිණ ලංකාවට පැමිණෙනවා කියලා මටත් සිංගප්පූරුවට පැමිණෙන්න කියලා. ඉතින් අපි දෙන්නම සංචාරයක් විධියට සිංගප්පූරුවට ගියා. අපි දවස් 8ක් 9ක් වගේ එහේ සිටියා. එක දවසක් අපි ෂොපින් කරන්න ගියා. සංදේශ් බණ්ඩාර අයියත් එතැනට පැමිණ සිටියා. ඔහු එන බව මම දැනගෙන සිටියේ නැහැ. මම ජීවිතේටවත් හිතුවේ නැහැ ඔහු ඒ වගේ සප්‍රයිස් එකක් කරයි කියලා මොකද ඔහු එවැනි දේවල් කරන ප්‍රසිද්ධියට කැමැති පුද්ගලයෙක් නොවෙයි.
විහඟට කැමැති වෙන්න සංජානා ඔහුගෙන් දැක්ක විශේෂත්වය මොකක්ද?
ඇත්තටම මුලින්ම මම එයාට කැමැති වෙන්න හේතු වුණේ එයා මට මගේ රැකියාවට තහංචි නොදාන මාව හොඳටම තේරුම් ගත්ත කෙනෙක් වීම නිසයි. අනෙක් කරණාව ඔහුට හොඳ ඉවසීමක් තිබෙනවා. ඔහු කේන්ති ගන්න කෙනෙක් නොවෙයි. මම තමයි බොහෝ වෙලාවට කේන්ති ගන්න කෙනා. ඒ වගේම එයා මා ගැන හොඳට සොයා බලා මාව රැකබලාගන්න පුළුවන් කෙනෙක්. මම ඔහුට කැමැති වෙන්න බොහෝ හොඳ ගතිගුණ ඔහු ගාව තිබෙනවා. විහඟ කියන්නේ හරිම හොඳ නිහතමානී චරිතයක්. මම යහළුවෙක් විධියට ඔහුව සෑහෙන කාලයක් ආශ්‍රය කළ නිසා අපි දෙන්නාට දෙන්නා ගැන හොඳ අවබෝධයක් තිබෙනවා.
ඔහු ඔබට කැමැති වුණ ඔබේ කැමැතිම ගුණාංගය මොකක්ද?
එයා කියනවා මම හරිම අවංකයි කෙළින් කතා කරන කෙනෙක් කියලා. ඇතැම් විට ඒ දේවල්වලට වෙන්න ඇති කියලා මම හිතනවා.
දෙපැත්තෙම මාපිය ආශිර්වාදය ඔබ දෙදෙනාට ලැබුණු ආකාරය ගැනත් කියමු?
මට ඉන්නේ තාත්තයි නංගියි පමණයි. මගේ අම්මා මිය ගියා. ඉතින් මම සිතනවා මගේ අම්මා හොයපු විධියේ කෙනෙක් මට ලැබුණා කියලා. තාත්තා කිව්වේ මට කැමැති මට ගැළපෙන කෙනෙක් විවාහ කරගන්න කියලා. ඔවුන් මගේ තීරණයට විරුද්ධ වුණේ නැහැ. විහඟගේ තාත්තා ඔහු කුඩා කාලයේම මිය ගිහින් ඔහුට ඉන්නේ අම්මා පමණයි. ඉතින් ඔහුගේ මවත් ඔහුගේ තීරණයට විරුද්ධ වුණේ නැහැ. අපේ සම්බන්ධයට දෙපැත්තෙම ආශිර්වාදය ලැබුණා. හැමදේම සතුටුදායි විධියට සිදුවුණා. මම විහඟ සමඟ සම්බන්ධය පටන් ගෙන කාලයක් යනතුරු කිසිම කෙනෙක්ට ඒ ගැන කිව්වේ නැහැ. අපි සම්බන්ධය රහසිගතව තබා ගත්තා. ඒ කාලයේ තමයි ඔය විවිධ කටකතා හැදුණේ. නමුත් අවසානයේ ඒ සියල්ල බොරු කියලා ඔප්පු කරන්න පුළුවන් වුණා විවාහ ගිවිස ගැනීමත් සමඟ. මොන කටකතාව හැදුණත් මම බය නැතුව සිටියේ විහඟ නිසා. ඔහු හැම නිතරම කිව්වේ ඕවා ගණන් ගන්න එපා, ඕවා සුළු දේවල් මම ඔයා එක්ක ඉන්නවා කියලා. ඒ නිසා ඇත්තටම මම ඒ කටකතා ගැන හිතුවේ නැහැ.
ක්ෂේත්‍රයේ අය බොහෝ විට විවාහය ගැන පවසන්නේ තවම වයස තිබෙනවා, ක්ෂේත්‍රය තුළ තව කාලයක් වැඩ කරන්න ඕනෑ. දැන්ම විවාහ වෙන්න බැහැ කියලා. ඇයි ඔබ දැන්ම විවාහ වෙන්න සිතුවේ?
දැන් මට වයස අවුරුදු විසි පහක්. මේ කාලය තුළ මම බොහෝ අත්දැකීම් ලබලා තිබෙනවා. මගේ අම්මා නිතරම කිව්වේ අවුරුදු විසිපහෙන් මම විවාහ වෙන්න ඕනෑ කියලා. ඒ වගේම මමත් හරිම කැමැතියි. බොහෝ රංගන ශිල්පිනියන් ක්ෂේත්‍රයේ රැඳී සිටීමට අවශ්‍ය නිසා විවාහ වෙන්න අවුරුදු 30, 31 විතර වනතුරු සිටිනවා. ඉන් පසු දරුවන් හදන්න තවත් කල් යනවා. එය ඔවුන්ගේ කැමැත්ත මම එයට කිසිවක් කියන්නේ නැහැ. නමුත් මම කැමැතියි මේ කාලයේ දී විවාහ වෙලා නිසි වයසේදි දරුවන් හදාගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. මම රංගනය වඩා මුල් තැනක් දෙන්නේ මගේ පවුල් ජීවිතයටයි.
විවාහයෙන් පසුවත් රංගනයේ නිරත වෙනවාද?
ඔව්. මම රංගනයෙන් ඉවත් වන්නේ නැහැ. මගේ සැමියා මගේ රංගන කටයුතුවලට සහයෝගය ලබා දෙනවා. විවාහ වුණාට පසුව ලැබෙන වැඩ අඩු වෙනවා කියලා කතාවක් මම අහලා තිබෙනවා. ඒ ගැන මම හරියටම දන්නේ නැහැ. නමුත් මට නිර්මාණවලට ආරාධනා ලැබෙන තාක්කල් මම ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා.
ඉදිරි නිර්මාණ කටයුතු මොනවාද?
දැනට කරගෙන යන ළංවී සහ දිවිතුරා කියන ටෙලි නාට්‍යය දෙක ඉදිරියටත් කරගෙන යනවා. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයක්ම විකාශනය තිබෙනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉදිරියේදී රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේ සැමියා ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ ඉතින් එයාව බලන්නත් ගිහින් එන්න ඕනෑ. ඒ වගේ වැඩ ටිකක් තමයි ඉදිරි බලාපොරොත්තු විධියට තිබෙන්නේ.
කුශාන්ති අනුරාධා බණ්ඩාර
මව්බිම පුවත්පතේ
'හදගැස්ම' අතිරේකයෙන් !