මේ අතර, මෙරටින් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග, නැවත වතාවක් යුපුන්ගේ මුහුණූ පොතේ කමෙන්ටුවක් සටහන් කරමින්, අපූරු අකුරු කරවීමක් සිදු කර තිබෙනවා.
“යුපුන් මල්ලි, මම අවුරුදු 18ක් තිස්සෙ අනන්ත වාරයක් දුවගෙන ගිහිල්ල බෝල් කරද්දි, විකට් එන වෙලාවට සහ නැති වෙලාවට, මට දැනුන සතුට හෝ වේදනාව දරාගන්න මට තිබුනෙ ජීවයක් නැති මගේ අතේ තිබුණ ලෙදර් පන්දුව විතරයි. ඒ හා සමානවම යුපුන්ටත් පරාජයේදිත් ජයග්‍රහණයේදිත් ඒ දේවල් දරාගන්න ඔයත් එක්ක හිටියෙ ඔයා දාගෙන දුවපු සපත්තු දෙක විතරයි කියල මං හිතනව.
ක්‍රීඩකයෙක් විදියට දක්ශතාව කොපමණ තිබුනත්, ක්‍රීඩාවෙ ඉහලට එන්න කරන කැපකිරීම් හරියටම දන්නෙ කරන සහ කරපු අපි විතරයි. අපේ මහන්සියේ ප්‍රතිඵල විතරයි එලියට පේන්නෙ.
මට ලැබුණා වගේම යුපුන්ටත් අවස්ථාවක් තියෙනවා අපේ රටේ අහින්සක මිනිස්සුන්ගෙ හිත් සතුටු කරන්න, ඒ අයගෙ මුහුණට හිනාවක් ගේන්න. ඒ ගැන හිතල සහ අපේ කැපකිරීම් වල ප්‍රතිඵල දිහා බලල ලැබෙන නිහතමානී සතුට අපිට ඉතුරු වෙනවා මල්ලි.
- මාලි”
ලසිත් මාලිංග සිය ක්‍රීඩා දිවිය තුළ ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට එල්ල කළ බිහිසුණු යෝකර් පන්දු සේම ක්‍රීඩා පිටිය තුළත්, ඉන් පිටතත් තමන් සහ තමන්ගේ සහෝදර ක්‍රීඩකයින් වෙනුවෙන් සිදුවන අසාධාරණයට එරෙහිව හඬ අවදි කළ ක්‍රීඩකයෙක්.
ඔහුගේ ඇතැම් සෘජු ප්‍රකාශ හේතුවෙන් ම බොහෝ අවස්ථාවල ක්‍රීඩා පරිපාලනයේ අඩු සැළකිලි ලබන්නටත් සිදු වූ බව ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නා කාරණයක්.
ස්ලිංගා මාලිංග සේම තමන්ගේ ස්ව ශක්තියෙන් නැඟිට උපන් හැකියාවන් ඔප මට්ටම් කරගත් යුපුන් අබේකෝන් අද ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූරයෙකුට යා හැකි ඉහළම මට්ටමට යෑමට සමත්ව තිබෙනවා.
ඔහුගේ මෑත කාලීන දක්ෂතා සළකා බලන විට දකුණු ආසියානු මට්ටමේ ඉහළම දක්ෂතා දක්වා ඇති අතරම ඔහුගේ අවසන් ධාවනයන් දහයම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් වාර්තා කළ හොඳම කාල මට්ටම් වීම විශේෂ සිදුවීමක්.
ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ ලබාගෙන ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දිය හැකි යුපුන් වැනි ක්‍රීඩකයින් හට කුඩම්මාගේ සැළකිලි මෙරට ක්‍රීඩා බලධාරින්ගෙන් හිමිවද්දී, ඔහු ඊට එරෙහිව සිය හඬ අවදි කළේ තමන්ගේ ජයග්‍රහණ හරහා ලැබෙන කීර්තිය සහ ආලෝකය තමන්ට අත්පොළසන් දුන් ප්‍රේක්ෂකයින්ට පමණක් හිමි වන බවට සියුම් අතුල් පහරක් ක්‍රීඩා බලධාරින්ට එල්ල කරමින්.
