Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
07
යුගයෙන් යුගයට හදවත් නළවන "හදවත රත්තරං ජෝති" නිහඬ වී අදට වසර 35 යි

- යුගයෙන් යුගයට හදවත් නළවන "හදවත රත්තරං ජෝති" නිහඬ වී අදට වසර 35 යිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

1987 ජුලි මස 7 වන දින ලක්බිම කම්පනය කළ පුවත වූයේ වයස අවුරුදු 50 ක වයසක සිටි එවක ජනප්‍රියම ගායකයා වූ එච්. ආර්. ජෝතිපාලයන්ගේ හදිසි අභාවයය. එච්. ආර්. ජෝතිපාලයන් කලාකරුවන් අතර අදටත් සුවිශේෂ චරිතයක් වනුයේ ඔහු මියගොස් වසර 35 කට ආසන්න කාලයක් වුවද අදටත් ඔහුගේ ජනප්‍රියත්වයට අභියෝග කළ හැකි ගායකයකු බිහිව නොසිටීමය.



ඔහු මියයන විට 51 වැනි වියෙහි (ජෝති උපන්නේ 1936 පෙබරවාරි 12 වැනිදා) පසු විය. ජෝති සැබෑ ලෙසින්ම ජීවමාන වන්නට පටන් ගත්තේ ඔහුගේ මරණයෙන් ඉක්බිතිව යැයි මම සිතමි. එවක තිස් වසරකට වැඩි කලක් පුරා (1952-1987) ස්වකීය ගීත විශාල සංඛ්‍යාවක් ඔස්සේ හෙතෙම කෙතරම් නම් ප්‍රාබල්‍ය ලෙස පොදු ජන විඥානයට ආමන්ත්‍රණය කළේ දැයි බොහෝ විද්වතුන් පසක් කොට ගත්තේ ජෝතිගේ අවමඟු‍ලදා කොළඹ කනත්තට එක්රොක් වූ විසි ලක්ෂය ඉක්මවූ මහා ජනගඟ දැකීමෙනි. ජෝති රටට දැනෙන්න ජීවත් වූ මිනිසෙකි. ඔහු මිය ගියේ කිසිදා අමතක නොවන (අසූ හතේ හතයි හත) දිනයකයදීය.

ලාංකේය චිත්‍රපට පසුබිම් ගායනයේ අග්‍රගණ්‍ය ගායන ශිල්පීන් දෙපළ ලෙස මා දකිනුයේ ඩබ්ලිව්. ඞී. අමරදේව හා එච්.ආර්. ජෝතිපාලය. පසුබිම් ගායනය චිත්‍රපටයක් තුළ භාවිත කෙරෙන මුඛ්‍ය අවස්ථා ද්වයක් දක්නා ලැබේ.

1.චිත්‍රපටයේ සමස්ත තේමාව කුළුගන්වන තේමා ගීතයක් (Theam song) සඳහා පසුබිම් ගායන ශිල්පියාගේ හඬ පසුබිමෙන් භාවිත කිරීම.

2. චිත්‍රපටයේ නළුවන්ගේ හඬට, රංගන ශෛලියට, පෞරුෂයට ඖචිත්‍ය වන පරිදි ඔවුන්ගේ මුඛාභිනය (Mime) උදෙසා පසුබිම් ගායන ශිල්පියාගේ හඬ උපයුක්ත කොට ගැනීම.

මින් පළමු ප්‍රභේදයේ ශ්‍රේෂ්ඨයා අමරදේවයන්ය. දෙවැනි ප්‍රභේදයේ ශ්‍රේෂ්ඨයා ජෝතිපාලයන්ය. අමරදේවයන්ගේ හඬ මුඛාභිනයේදී බොහොමයක් නළුවන්ට ගැළපුණේ නැත. එහෙයින් ඔහුගේ හඬ චිත්‍රපටවල මුඛාභිනයේදී අල්ප වශයෙන් භාවිතයට ගැනිණ. එහෙත්, චිත්‍රපටයේ තේමාව කුළුගැන්වීමෙහිලා අමරදේව සතු භාවපූර්ණ ස්වරය අනභිභවනීයය.ඉන්දියානු සිනමා සංගීතයේද නළුවන්ගේ මුඛාභිනයට එතරම් නොගැළපුණු එහෙත්, තේමා ගීත ගැයුමට ප්‍රශස්ත, අනභිභවනීය ගායන ශිල්පියෝ සිටියහ. අනෙක් අතට මොවුහු අමරදේවයන් සේම විශිෂ්ට ගාන්ධර්වයෝය. එස්.ඞී.බර්මන්, ඉෙලෙ රාජා, බූපන් හසාරිකා මීට නිදර්ශන වෙති. අමරදේවයෝ මොවුන්ට සම වෙත්. ජෝතිපාලයන්ගේ හඬ තරම් මෙරට සෑම නළුවකුගේම පාහේ මුඛාභිනයට ගැළපුණු අන් ස්වරයක් සිනමා ගීත වංශයේ තවත් නොමැත. එය අනභිභවනීයය. එහෙත්, චිත්‍රපටයේ සමස්තාර්ථය කුළුගැන්වෙන තේමා ගීත සඳහා ඔහුගේ හඬ ගැළපුණේ නැත.නළුවන් බහුතරයකගේ මුඛාභිනයට ගැළපුණු, ජෝතිපාලයන්ට සමකළ හැකි ගායන ශිල්පියෝ ඉන්දියානු සිනමා සංගීතයේද අපට හමුවෙති. මුහම්මඞ් රාෆි, කිෂෝර් කුමාර්, එස්.පී.බාලසුබ්‍රමනියම් වැනි විශිෂ්ට ගායකයෝ ඊට දෘෂ්ටාන්තයෝ වෙත්. අමරදේව හා ජෝතිපාල මෙරට චිත්‍රපට පසුබිම් ගායනයේ මුඛ්‍ය ප්‍රභේද ද්වය සුපරිපූර්ණ කළ අග්‍රගණ්‍ය ගායන ශිල්පීන් දෙපළ ලෙස මා දකිනුයේ යථෝක්ත කරුණු හේතු කොටගෙනය. ජෝති තරමට එක් එක් රූපණවේදීන්ගේ රංගන ශෛලියට අනුකූලව තම කටහඬ සුඛනම්‍ය ලෙස භාවිත කළ හැකි ගායන ශිල්පියකු ඉන් පෙර හෝ පසු මෙරට සිනමාවේ පහළ වී නොමැත. ගාමිණි ෆොන්සේකාට ඒ හඬ භාවිත කරන කල්හි එහි ජවසම්පන්න බව වැඩිවේ. ඔහු ගයන්නේ විජය කුමාරතුංගයන් උදෙසා නම් එහි ප්‍රේමණීය බව උතුරයි. වරක් ගාමිණි ෆොන්සේකා සූරීහු ජෝතිගේ ගී හඬ තමාට භාවිත කිරීම ගැන මෙසේ කීහ.

”ජොති මං වෙනුවෙන් ගයන ගීතවලදී මට රඟපාන්න දෙයක් ඉතුරු කරන්නේ නෑ. ඔහු කට හඬෙන් රඟපාල ඉවරයි.”‍

ජෝති පසුකාලීනව රංගනයටත් යොමු වූ හෙයින් කට හඬෙන් රඟපෑම ඔහුට පහසු වන්නට ඇත. සිනමාවේ අප දුටු ජෝතිගේ රංගන ශෛලියට ආභාසය වූයේ එල්විස් ප්‍රෙස්ලි, කිෂෝර් කුමාර් හා ෂම්මි කපූර් ආදීන්ගෙන් දිස් වූ උමතු, දඟකාර ශෛලිය (Madness style) යැයි මට සිතේ.

සුභාවිත ගීතයේ මහා බලකණුව වූ අමරදේවයන් හා පොදුජන ගීතයේ මහා බලකණුව වූ එච්.ආර්.ජෝතිපාලයන් මුල්වරට චිත්‍රපටයක් උදෙසා සුසංයෝග වූ ප්‍රථම අවස්ථාව ”‍තරංගා”‍ (1975) චිත්‍රපටය ඔස්සේ සනිටුහන් විය. චිත්‍රපට ගීතයෙහි තත්කාලීනව පැවති ප්‍රවණතාව අනුව ඉන්දියානු අනුකරණවාදී ගීතයට බහුලව නතු වීම හේතුකොට ස්වතන්ත්‍ර ගායන ශිල්පියකු ලෙස නැඟී ඒමට ජෝතිපාලට තිබුණු අවස්ථා ප්‍රමාණවත් නොවීය. ඇතැම් විචාරකයෝ ඔහුගේ ගායන ප්‍රතිභාව, මහිමාලංකාරය අවප්‍රමාණ කිරීමට අයුක්ති සහගත ලෙස මෙය අවියක් කොට ගත්හ. එබඳු පසුබිමක ෂෙල්ටන් ප්‍රේමරත්න, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක, ලයනල් අල්ගම, පී.වී.නන්දසිරි, ගලගෙදර එම්. එම්.ඒ.හක්, ආචාර්ය වික්ටර් රත්නායක, ක්ලැරන්ස් විජේවර්ධන, සරත් ද අල්විස් වැනි සංගීතවේදීන්ගෙන් නිර්මාණ හරහා ජෝතිපාලගේ ස්වතන්ත්‍ර ගී ලකුණ සිනමාවෙහි ස්ථාපිත විය. අමරදේවයන් ”‍තරංගා”‍ චිත්‍රපටයෙහි ඔහුට ලබා දුන් ගී සම්ප්‍රදානය බොහෝ අධානග්‍රාහී විචාරකයන්ට එල්ල කළ ප්‍රාබල්‍යය ප්‍රහාරයක් මැ විය. ”‍තරංගා”‍ චිත්‍රපටයට අමරදේව ස්වර සංරචනය කළ , සිරිල් රත්නවීර පබැª ”‍කන්දෙන් කන්දට”‍ ගීතයෙහි දක්නා ලැබෙන්නේ ජන සංගීත නාද රටාවකි. ”‍තරංගා”‍ චිත්‍රපටයෙන් ගොඩනැඟු‍ණු අමරදේව - ජෝතිපාල සුසංයෝගය පිළිබඳ කිසිවකු නොදත් අතීත සිදුවීමක් මා හට පැවසුවේ සුප්‍රකට අධ්‍යක්ෂ, නිෂ්පාදක පද්මසිරි කොඩිකාර මහතාය. ඔහු ජෝතිපාලයන්ගේ සමීප හිතවතෙක් වූයේය. දලූ‍ගම සරසවි චිත්‍රාගාරයේ පැවති ”තරංගා”‍ චිත්‍රපටයේ ගීත පටිගත කිරීම සඳහා (1973 පමණ) ජෝතිපාලයන් සහභාගි වූයේ පද්මසිරි හිතවතාද සමඟිනි. ගීත පටිගත කිරීම් අවසාන වී ආපසු නිවස බලා යද්දී ජෝතිපාල පද්මසිරිට මේ සිදුවීම ගැන පැවසුවේය. එය මෙසේය.”‍තරංගා”‍ චිත්‍රපටය නිපදවූයේ මහනුවර පදිංචිව සිටින සේන දයානන්දය. පද්මසිරි, සේනගේ සමීප මිතුරෙකි. සේන ජෝතිපාලගෙ රසිකයෙකි. චිත්‍රපටයේ නළු නිළියන් ඇතුළු සියලූ‍ දේ තෝරා ගැනීම අධ්‍යක්ෂ විමල් වෛද්‍යසේකරටත් සංගීත අංශයේ ගායක, ගායිකාවන් ආදී සියල්ල තෝරාගැනීම අමරදේවයන්ටත් සේන පැවරූ නමුත්, එක් කොන්දේසියක් පමණක් ඔහු වෙනුවෙන් ඉටු කළ යුතු විය. එනම් තමාගේ ප්‍රියතම ගායකයා වූ ජෝතිපාල මේ චිත්‍රපටයේ එක් ගීතයක් ගැයීම සඳහා අනිවාර්යයෙන්ම තෝරාගත යුතු බව සේන දැඩිව ඉල්ලා සිටියේය. එහෙත්, අමරදේවයන් ඊට එකඟ නොවුණි. මේ මතභේදය චිත්‍රපටය තැනීමේ සීමාවද ඉක්ම යමින් තිබූ බැවින් ගැටුම්වලට අකැමැති අමරදේවයෝ අවසානයේ ඊට එකඟ වූහ. ඒ අනුව ”‍කන්දෙන් කන්දට”‍ ගීතය ගැයීම ජෝතිපාලයන්ට පැවරිණ. වාර දෙකක් ඇතුළත :ඔඅද ඒනැි) අමරදේව උපරිමයෙන් සෑහීමට පත් කරමින් ජෝතිපාල මේ ගීතය ගායනා කොට පටිගත කිරීම් නිම කළේය. ජෝතිපාලගේ අත අල්ලාගෙන සරසවි ශබ්දාගාරයෙන් එළියට පැමිණි අමරදේවයෝ මෙසේ කීහ.

" ජෝති. මං ඔයා ගැන මෙච්චර කාලයක් හිටියේ වැරදි වැටහීමක”‍.

”‍ඒ ඇයි මස්ටර්”‍.

”ජෝතිට මතකද 1961 විතර අපි දෙන්නා පිටකොටුවේදී දවසක් අහම්බෙන් මුණ ගැසුණා. ”රන්මුතු ¥ව”‍ චිත්‍රපටයේ ගීතයක් ගයන්න (පිපී රේණු නටන) එදා මං ඔයාට ආරාධනා කළා. එතකොට ජෝති මට කිව්වා ‘හරි මාස්ටර් මං වෙලාවට ආවා, වැඬේ දුන්නා ගියා‘ කියලා. ජෝති එහෙම කිව්වම මං හිතුවෙ ඔයා මට අපහාසයට කියපු දෙයක් කියලයි. මොකද වෙන ඕනෑම ගායකයකුට මං හදපු ගීතයක් ගයන්න ආරාධනා කළාම ඔවුන් කියන්නේ ‘හොඳයි මාස්ටර්, මං රිහර්සල් දෙක තුනකට එන්නම්, ඊට පස්සේ පටිගත කරමු‘ කියලයි.

”අනේ මාස්ටර් මං මාස්ටර්ට කවදාවත් අපහාසයට කතා කරලා නැහැ”‍ ජෝතිපාල කීවේය.

”‍ඒක මං දන්නවා ජෝති. ඒත් එදා මේ වැරදි වැටහීම හිතේ තිබුණු නිසා මං සංගීතය හදපු කිසිම චිත්‍රපටයකට ඔයාව තෝරගත්තේ නැහැ. ‘තරංගා‘ චිත්‍රපටයේ ගීතය පටිගත කරන කොටයි එදා ඔයා මට කියපු දේ සැබෑ අරුත මට වැටහුණේ. ජෝතිට ගැඹුරු සංගීත දැනුමක් නැති වුණාට එක වරක් කියා දුන්නාම ගීතයේ මෙලොඩිය වටහා ගන්නවා. ඒ වගේම වාර එකෙන්, දෙකෙන් හොඳින් ගයලා පටිගත කිරීම් නිම කරනවා.”‍

”මාස්ටර් මේ ගීතයෙන් මට දුන්නේ හොඳ අභියෝගයක්. ගීතයේ එක පේළියක් ඉහළ උච්ච ස්වර දක්වා ගමන් කරනවා. තව පේළියක් පහළ මන්ද්‍ර ස්වර දක්වා ගමන් කරනවා. මට මේ ඕන අතකට ගයන්න පුළුවන් නේද මාස්ටර්. මට හිතෙනවා මං ඒ අභියෝගය ජයගත්තා කියලා”‍ ජෝතිපාල කිවේය.

මේ සිදුවීමෙන් පසුව අමරදේව හා ජෝතිපාල අතර දශකයකටත් වැඩි කලක් පැවති දුරස්ථභාවය තුරන් විය.අමරදේවයෝ ”‍වාලම්පුරි”‍ (1981) චිත්‍රපටයේ ගීතයක් (”‍වරෙල්ලා වරෙල්ලා”‍) ගැයීම සඳහාද ජෝතිපාල තෝරා ගත්හ.1987 ජෝතිපාලයන් අභාවප්‍රාප්ත වූ පසුව ඔහුගේ අවමංගල්‍ය කටයුතු විශාල ජනකායක් මධ්‍යයෙහි බොරැල්ල කනත්තේදී සිදු කෙරුණු අවස්ථාවේ සභාව අමතමින් අමරදේවයෝ මෙසේ පැවසූහ.

”‍මගේ සංගීත රචනා යටතේ මේ ජෝති ගායකයාණන් ගැයූ ගීත තුළින් ඔහු තුළ පැවති සුවහසක් පැතුම් හා හැඟු‍ම් මා මැනවින් දැක ගත්තා; හඳුනාගත්තා. මා හිතනවා ජෝතිපාල කියනකොට අපිට වාච්‍යාර්ථයෙන් මැනවින් පෙනී යනවා; ජෝති යනු ආලෝකයයි. ඔහු මැනවින් ආලෝකය, ස්වභාව, රූප සම්පත්තිය පාලනය කළ ගායකයකු බව අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් ඊට අමතරව ඔහු ජෝතිය පමණක් නොවේ පාලනය කළේ. ස්වරය, තාලය මැනවින් පාලනය කළා. ඊටත් වඩා හොඳින් ඔහු පාලනය කළේ ඒ මිත්‍රත්වයයි. අද මේ රැස් කකා සිටින පිරිස දෙස බලන කොට මට එය පෙනී යනවා.”‍

චිත්‍රපටයක රඟපාන නළුවන් විසින්ම එම චිත්‍රපටයේ ගීත ගයනු ලැබීම මුල් යුගයේ මෙරට සිනමාවේ පැවති සම්ප්‍රදායකි. මෙකී සම්ප්‍රදාය අනුව එඞී ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, පීටර් පීරිස්, හියුගෝ ප්‍රනාන්දු ”‍කඩවුණු පොරොන්දුව”‍ (1947) හි රඟපාමින් ගීත ගැයූ මෙරට පුරෝගාමී චිත්‍රපට පසුබිම් ගායන ශිල්පීහු වෙත්. ඉක්බිතිව ”‍අශෝකමාලා”‍ (1947) චිත්‍රපටයෙන් ප්‍රතිභාපූර්ණ ගායකයන් දෙපළකගේ ආගමනය දක්නට ලැබේ. එනම් මොහිදීන් බෙග් සහ ඩබ්ලිව්. ඞී. ඇල්බට් පෙරේරා හෙවත් අමරදේවයන්ය.”‍අශෝකමාලා”‍ රඟපාමින් ගීත ගැයූ අමරදේවයන්ගේ ගීයක් නැවතත් ඇතුළත්වනුයේ ”‍දස්කම”‍(1958) චිත්‍රපටයට (”‍ඉපිද මැරේ”‍) වන හෙයින් ජෝතිගේ සිනමා ප්‍රවිෂ්ටයට පූර්වයෙන් අමරදේවයන් සිනමා ගීත ක්ෂේත්‍රයේ දැවැන්ත පෞරුෂයක් ගොඩනඟන බව නොපෙනේ. ජෝතිට ප්‍රථම එබඳු දැවැන්ත ගායන පෞරුෂයක් සිනමාවේ ගොඩනඟන ප්‍රමුඛයා මොහිදීන් බෙග්ය. ජීවිතේ අටලෝ දහම ගැන කියවෙන ශෝකී ගීත සඳහා බෙග්ගේ හඬ බහුලව යොදා ගැනුණද ප්‍රේම ගීත සඳහාද ඔහුගේ හඬ යොදා ගැනීමට එකල අධ්‍යක්ෂකවරු උත්සුක වූහ. එහෙත් ඒ හඬ තත්කාලීන භාවාතිශය සහ ඕලාරික බවින් යුත්, ගිනිකූරු උඩු රැවුලෙන් සහ බොකුටු කොණ්ඩයෙන් හෙබි තරුවල තාරුණ්‍යයේ ජීවය උද්දීප්තිමත් කිරීමට සමත් නොවූයේ බෙග්ගේ හඬෙහි පැවති ගම්භීර ස්වභාවයත් ඔහු එවක මැදි වියේ පසු වීමත් හේතු කොට ගෙනය. මේ නිසා එවක පෙම්වතාගේ ස්වරූපයට සරිලන දේශීය හඬක අවශ්‍යතාව තිබිණ. ධර්මදාස වල්පොල මේ ප්‍රවණතාවට මනාව ගැළපෙන හඬ වූ හෙයින් බෙග්ට පසුවත් ජෝතිට පූර්වයෙහිත් සිනමා පසුබිම් ගායනයෙහි වඩාත් ප්‍රබලව මතු වූ පෞරුෂය ඔහු විය.

1956 තරමට මෙරට කලා සාහිත්යික ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු වූ වසරක් ඉන් පෙර සහ පසු අපට හමු නොවීය.ආගමික වශයෙන් බුද්ධ ජයන්තියද දේශපාලනික වශයෙන් සංස්කෘතික පෙරළියද ඊට සමගාමීව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ‍”මනමේ”‍ නාටකය බිහි කිරීමද, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ”‍රේඛාව”‍ සිනමා කෘතිය බිහි කිරීමද මාර්ටින් වික්‍රමසිංහගේ ”විරාගය”‍ නවකතාව දොරට වැඞීමද මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ ”මස් ලේ නැති ඇට”‍ කාව්‍ය සංග්‍රහය ඔස්සේ කාව්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඇති කිරීමද 1956 පිළිබඳ කතා කරන බොහෝදෙනා සිහි කරති. සිනමා ක්ෂේත්‍රය අතින් බැලූ විට ”‍රේඛාව”‍ බිහිවීම මතු නොව බොහෝ විචාරකයන්ගේ අවධානය යොමු නොවූ තවත් සුවිශේෂ සිදුවීම් ත්‍රිත්වයක් 1956 දී සිදු වූ බැව් පෙනේ. මගේ පර්යේෂණයකට අනුකූලව ලාංකික සිනමාවට පමණක් නොව මුළු මහත් ආසියාවට යථාර්ථවාදී රූපණවේදය හඳුන්වාදුන් ගාමිණි ෆොන්සේකා සහ අයිරාංගණී සේරසිංහගේ සිනමා සම්ප්‍රාප්තිය සිදු වන්නේද 1956 ”‍රේඛාව”‍ චිත්‍රපටයෙනි. අනෙක් කරුණ එම වසරේ තිරගත වූ ”‍සුරතලී”‍ චිත්‍රපටයෙන් එච්.ආර්. ජෝතිපාල නම් වූ ශ්‍රේෂ්ඨ චිත්‍රපට පසුබිම් ගායකයා සිනමාවට ප්‍රවිෂ්ට වීමය. මෙහිදී ආනන්ද ජයරත්නගේ පසුබිම් ගී හඬ බවට ජෝති පත්වීමෙන් ඔහු 1956 සිනමාවේ නැඟී ආ තාරුණ්‍යයේ පසුබිම් හඬ බවට පත්විය.

ජෝති පොදුජන කලා සංස්කෘතියේ අවසන් අධිරාජ්‍යයා ලෙස මම දකිමි. පසුකාලීනව ජනප්‍රිය සංස්කෘතික වහන්තරාවන් ඔසවා තැබූ ”‍ඊනියා සුපිරි තරු”‍ ගොන්නට ජෝති ඇතුළත් නොවූණේ ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙහිම පොදු ජන හදවත් හී ලැගුම් ගත් ”‍සුපිරි තරුව”‍ වූ බැවිනි. තමාගේ මනාපය තමාට පළ කර ගැනීම සැබෑ සුපිරි තරුවලට අවශ්‍ය නොවේ. ම විසින් රචනා කොට 2005 වසරේ පළ කරන ලද ”‍ශ්‍රී ලාංකේය සිනමා වංශය”‍ ග්‍රන්ථයට ජෝතිපාල ගී ගැයූ සම්පූර්ණ චිත්‍රපට නාමාවලිය මම එක් කළෙමි. ඒ අනුව චිත්‍රපට 323 ක ඔහුගේ ගීත ඇතුළත් විය. ජෝතිගේ අභාවයෙන් පසුව චිත්‍රපට 31 කට ඔහුගේ ඉපැරැණි ගීත යළි යළිත් භාවිත කිරීම ගිනස් පොතට ඇතුළත් කළ හැකි වාර්තාවක් විය හැකිය. ජෝතිපාලයන්ගේ නමට ඉදිරියෙන් ඇති ්‍යගඍ යන ඉංග්‍රීසි මුල අකුරු දෙකෙන් කියැවෙන්නේ ”‍හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඞ්”‍ යන වාසගමය. එහෙත් මා එය කවදත් අර්ථ දැක්වූයේ ”‍හැමදා රැව්දෙන”‍ යනුවෙනි.


ආචාර්ය නුවන් නයනජිත් කුමාර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top