“මල්ලි උඹ කතා කරපන්.. පපුව හරි ඔබපන් බලන්න… බලාගෙන බිමට වැටෙයි. කෝල් එකක් දාපන් ගෙදරට මල්ලි..”
“අනේ තාත්තේ… තාත්තා කතා කරන්නෑ අම්මේ.. අනේ මගේ තාත්තේ.. තාත්තාගෙන් සද්දයක්වත් නෑ අම්මේ.. පපුවේ අමාරුව හැදිලා ඇති අම්මේ..”
රටම කම්පා කළ මේ දුක් අෙදා්නාව ඇසුණේ පානදුර තෙල් පෝලිමකිනි. දින දෙකක් පුරා තෙල් එනතුරු හරියට කුසට අහරක්වත් නැතිව පෝලිමේ සිටි සිය පියා තම ඇස් ඉදිරිපිට හදිසියේ මියගිය බව දැනුණු පුතාගේ වියෝ දුකයි ඒ.
පානදුර, වෑකඩ ඉන්ධන පිරවුම්හලේ රැඳී සිටියදී ඊයේ අලුයම (16දා) මෙසේ හදිසියේ මියගොස් තිබුණේ පානදුර, හිරණ විසල් උයන ප්‍රදේශයේ පදිංචිව සිටි මුතුතන්ත්‍රිගේ සුගත් ප්‍රනාන්දු නමැති 53 වියැති තිදරු පියෙකි.
ඔහු තවත් ත්‍රිරෝද රථ රියැදුරකු සමඟ පෙරදින එගොඩඋයන පිරවුම්හලේ රැඳී සිට පසුව රාත්‍රි 07ට පමණ වෑකඩ ඉන්ධන පිරවුම්හලට පැමිණ ඇත. එහිදී සහෝදර ත්‍රිරෝද රථ රියැදුරකු සමඟ රාත්‍රි ආහාරය ලබාගෙන ත්‍රිරෝද රථය තුළ රැඳී සිටියදී හදිසියේ අසනීපව ඇතැයි සඳහන් වේ.
පසුව අසල සිටි පුද්ගලයන් 1990 සුවසැරිය ගෙන්වා ගැනීමට උත්සාහ කර ඇතත් නොපැමිණි බැවින් ත්‍රිරෝද රථයක නංවාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මියගොස් ඇති තැනැත්තා සමඟ පෙරදින සිට පෝලිමේ රැඳී සිටි එල්. අතුලසිරි සිල්වා මහතා මෙසේ සිද්ධිය විස්තර කළේය.
“අපි දෙන්නා මොරටුව, එගොඩඋයන පිරවුම්හලේ පෝලිමේ ඉඳලා ඒකේ තෙල් නැති නිසා රෑ 07ට විතර වෑකඩ පෝලිමට ආවා. එයා ඉස්සරහ හිටියා. මම පසුපස අසුනේ හිටියා. අලුයම 01ට පමණ ඔහු කෙඳිරි ගෑවා. 1990ට කෝල් කළා ආවේ නෑ.
ඒ නිසා ඔහුව ත්‍රිරෝද රථයක නංවාගෙන පානදුර රෝහලට ගෙන ගියා. පසුව ඔහු මියගොස් ඇති බව දැනගත්තා.”එහිදී ත්‍රිරෝදකරු රෝහල්ගත කිරීමට රැගෙන ගිය පුද්ගලයා මෙසේ අදහස් දැක්වීය.
“අපි ආමි එකට කතා කළා. පොලිසියට කතා කළා. කවුරුවත් ආවේ නෑ. ඒ මනුස්සයා පැය භාගයක් විතර වෙනවා සිද්ධිය වෙලා. මගේ වාහනේ පැච් එකක් තිබ්බා. පැච් එක පිටින් මම දාගෙන ගියේ. 119 අංකයටත් තුන් හතර පාරක් ගත්තා. දැන් එනවා දැන් එනවා කිව්වා. කවුරුත් ආවේ නෑ.”
මෙසේ මියගිය පුද්ගලයා ත්‍රිරෝද රියට ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී සිය පුත්‍රයාද තම යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට එම පෝලිමේම රැඳී සිටියදී මෙම සිදුවීම වී තිබේ.
සිද්ධිය දුටු තවත් පුද්ගලයෙක් චෝදනාත්මක පැවැසුවේ මෙවැන්නකි.
“පානදුර හොස්පිට්ල් එකේ ඇම්බියුලන්ස් එකත් නෑ. ඔන්න ඕකයි කතාව. 119 ගැහුවා. මේ ලෙඩාට පපුවේ අමාරුවක් හැදිලා තියෙන්නේ කිව්වම බම්බලපිටියෙ කිව්වා ඇම්බියුලන්ස් එක තියෙන්නේ. ඒක එන්න ඕනේ. වෙන වාහන නෑ කිව්වා. ඊට පස්සේ කරපු දේ මෙයාගේ වීල් එකේ ලෙඩා ගෙනියද්දී මම හිතන්නේ ලෙඩා මැරිලා. සමහරවිට ඇම්බියුලන්ස් එකක් ආවනම් බේරගන්නත් තිබුණා. කියලා වැඩක් නෑ. මේ කාලකණ්ණි රජය” යැයි පැවැසීය.
පොතුපිටිය – සුමිත් රණවක, කීර්ති මෙන්ඩිස්