‘‘පුතේ... මේ අවුරුදු අනූවට මම ගොඩක් අත්දැකීම් ලබපු කෙනෙක්. ඒ කාලෙ අපි උන්නු හැටියට මහලු මඩමක් ගැන හීනෙකින්වත් හිතන්න වුවමනාවක් වුණේ නෑ. මගේ මහත්තයා. හොඳ රැකියාවක් කළා ඇමරිකාවේ. එයා අවුරුද්දේ වැඩිම කාලයක් හිටියේ එහේ. ඉතින් මමත් කාලයක් මහත්තයා එක්ක ඇමරිකාවේ පදිංචි වෙලා හිටියා. නමුත් මම රජයේ රැකියාවක් කරපු කෙනෙක්. මට දිගටම ඇමරිකාවට වෙලා ඉන්න වාතාවරණයක් තිබුණෙ නෑ. මම අපේ ගෙදර ඇවිත් හිටියා. අපට ගෙවල් දෙකක් තිබුණා. එකක් කොළඹ, අනික් ගේ කොට්ටාව කිට්ටු අපට තිබුණු ලොකුම අඩුපාඩුව තමයි, මටයි මහත්තයාටයි දරුවෙක් හිටියෙ නෑ. දරුවෙක් ලබා ගන්න වෛද්‍යවරුන් හමුවුණා. ඒ කිසිවකින් ප්‍රතිඵලයක් ලැබුණෙ නෑ.
මේ ගැන මමත් මහත්තයාත් ලොකු කනස්සල්ලකට පත් වුණා. සෑහෙන කාලයක් මෙහෙම ඉන්නකොට අපේ ඥාතියෙක් අැවිත් කිව්වා,
සුමනා අක්කේ හදා ගන්න කැමති නම් පුංචි දරුවෙක් ඉන්නවා. ඇඹිලිපිටියේ අසරණ පවුලක්, ළමයාට තවම අවුරුද්දක් නෑ. පවුලට මොනවා හරි උපකාරයක් කරන්න. ඒ ඇති කියලා. ඒක ටිකක් සතුටු දායක ආරංචියක් වුණා මට. අනික් එක යාන වාහන, දේපළ, රැකියා තිබුණු අපට අහිමි වී තිබුණු එකම දේ දරු සම්පත විතරයිනෙ, දරු සම්පතක් නොලැබ ඉන්නෙ සසරේ කුමක් හෝ කර්මයක් කර ඇතැයි මම නිතර විශ්වාස කළා.
කොහොම වුණත් අර වගේ දුප්පත් පවුලකට උදවුවක් කරල ළමයා භාර ගැනීම අපට මහ ලොකු දෙයක් වුණේ නෑ. ඒ කාලෙ මට වයස අවුරුදු 38ක් විතර ඇති. මම අපේ මහත්තයා එක්කත් කතා කරලා මගේ ඥාතියාට කිව්වා මමයි මහත්තයායි කැමතියි දරුවා භාර ගන්න. අපි දවසක ගිහින් බලමු කියලා. ඒ අනුව මමයි, මහත්තයායි අදාළ ඥාති කෙනායි, දවසක් ඇඹිලිපිටියෙ ගියා. ඇඹිලිපිටිය කිව්වත් අද වගේ දියුණු නෑ. එදා බොහොම ග්‍රාමීයයි.
ඇඹිලිපිටියෙනුත් ගොඩක් ඇතුළෙ අති දුෂ්කර ගම්මානයක්. අපි ගියේ ඉන්න තැනක්වත් හරියට නැති ඉටිරෙද්දෙන් වටකරපු ගෙදරකට.
‘‘සුමනා අක්කේ මේ තමයි ගේ’’ එහෙම කියද්දි මට ගොඩක් දුකක් දැනුණා. අපට තිබුණු සැප සම්පත් කියලා. දරුවන් නැතිව අපි සැප සම්පත් ඇතිව ඉපදුණා. දරුවන් ඉන්න අය සැප සම්පත් මොකුත් නැතිව ඉපදිලා. දෙකම මොකක් හෝ අවාසනාවක් මත වෙච්ච දෙයක් නේද කියල මම කල්පනා කළා.
අපි දරුවන් නැතිව දුකට පත් වෙනවා වගේ. මේ අයත් ඉන්න තැනක් වත් නැතිව දුක් විඳිනවා ඇති නේද කියල මට හිතුනා.
‘‘සුමනා අක්කේ මේ හරියේ අලි නිතරම එනවා. පාරට අලි එනවා. හැන්දෑවේ පහ වෙද්දි වත් ඇඹිලිපිටිය ටවුමට යන්න ඕනි. නැත්නම් මෙහේ ඉන්න තමා වෙන්නේ’’
කොහොම හරි අපි ආපසු ගෙයි මිදුලට යද්දී, ගෑණු මනුස්සයා කැලේක ඉඳන් දුවගෙන ආවා. ළමයි තුන් හතර දෙනෙක් මිදුලේ සෙල්ලම් කරනවා. සමහර ළමයිගේ ඇඟේ නූල් පොටක්වත් නෑ.
‘‘සර් මැඩම් එන්න ගෙට’’ කියලා අර ගෑනු කෙනා අපට කතා කළා.
ගෙයක් කිව්වට ඇතුළේ ඉඩක් නෑ. එක පුටුවයි අැඳක් නෑ. ලීවලින් ගහපු මැස්සක් ඇඳ වෙනුවට තිබුණේ. තොටිල්ලක පුංචිම දරුවෙක් සැප නින්දක හිටියා.
මේ ඉන්නේ මම උඹලට කිව්ව නෝනා. හරි කරුණාවන්තයි. කෝ මල්ලි. අපේ ඥාතියා ඇහුවා.
ඉන්ඩ මම කතා කරන්නම්. ගෑණු කෙනා එළියට ගිහින් ටිකක් වෙලා යද්දි ආවා.
ළමයිගේ තාත්ත කරන්නෙ කුලියට හරක් බලනවා.
සුමනාවති අම්මා ඒ කතාව මට කියාගෙන යන්නීය. ඇත්තටම සුමනාවතී අම්මලාගේ මුළු ජීවිතයම නොහිතූ පරිදි වෙනස් වීමේ ආරම්භය මේ ගමන විය. ගෙදර ගෑණු කෙනාත් පිරිමි කෙනාත් දෙන්නා තොටිල්ලේ හිටපු දරුවාව අපට දෙන්න කැමති වුණා. ලස්සන පිරිමි දරුවෙක්. ලිපි ලේඛන වගයකුත් හදමු කිව්වා. ඒ අනුව අපි නැවත දවසක දරුවා අරන් යන්න එන්න පොරොන්දු වුණා.
අපේ මහත්තයා කිව්වා, ඒ අයට පුංචිවට ගෙයකුත් හදල දෙන්නම් කියලා. ඇත්තටම අපේ මහත්තයා ඒක සතුටට කිව්වේ’’
දැන් ගෙදර ආපු වෙලාවේ ඉඳන් මට අමුතු හැඟීමක් දැණුනා. හරියට මමත් අම්මා කෙනෙක් වෙන්න යනවා වගේ කිරි එරෙන තරම් දරු හැඟීමක්. මම නැළවිලි ගී කිව්වා. මත්තයා තොටිල්ලක් එහෙම ලස්සනට හැදෙව්වා.
අපි සුමාන දෙකකින් විතර ආයෙත් ඇඹිලිපිටියේ ගිහින් දරුවා කොළඹ ගෙදරට එක්ක ආවා. එදාම මහත්තයාගේ අතින් දරුවා හිටපු ගේ හදන්න මුල් ගලක් එහෙම තියලා, බාස්ලට වැඩෙත් පැවරුවා. අපි මේ දරුවා බොහොම ආදරෙන් හැදුවා. එයාට කිසිම අඩුපාඩුවක් වුණේ නෑ.
ඒ අතරේ ළමයාට අවුරුදු එකහමාරක් වගේ වෙද්දි අපි ඇඹිලිපිටියෙ ගියා. ඒ ගියේ මහත්තයා හදල දුන්නු ගෙට ගෙවදින දවසෙ. ආයෙත් අපට ඒ අය මුණ ගැසුණෙත් නෑ’
සුමනාවතී අම්මා ඒ අතීතය කල්පනා කරන්නීය. ඇය මොහොතක් අතීතාවර්ජනයක සිට.
ඉතින් මේ දරුවා මටයි, මහත්තයාටයි තමා අම්මේ, තාත්තේ කිව්වේ. එයාට වෙන කිසිම හැඟීමක් දැනීමක් නෑ පුංචි කාලෙම අපි ළඟට ආපු නිසා. අපි මේ දරුවා කොළඹ ලොකු පාසලකට ඇතුළත් කළා. හොඳට උගන්වන්න බලාගෙන.
පුංචි කාලේ පුතා ගොඩක් උනන්දු දක්ෂ කෙනෙක්. කොහොම නමුත් අපේ පුතා මහ විභාගේ ෆේල් වුණා. මෙයාට නරක යාළුවෝ පිරිසක් කොළඹින් හමුවෙලා හිටියා. එයා වැරදි පාරක යන බව අපට ආරංචි වුණා. මමයි, මහත්තයයි අනන්තවත් කිව්වා.
‘පුතේ මුරණ්ඩු වැඩ කරන්න එපා. වැරදි යාළුවෝ ආශ්‍රය කරන්න එපා. බලන්න තාත්තා වැදගත් රැකියාවක් කරන කෙනෙක්. මේ දේපළ සේරම පුතාටනෙ’ කියලා.
එහෙම කාලයක් යද්දි මගේ මහත්තයා නැති වුණා. දැන් මමයි, පුතයි විතරයි. පුතාට රැකියාවක් කරන්න උනන්දුවක් තිබුණෙ නෑ. එයා මට කියල අපේ දේපළ සේරම ලියවා ගත්තා. මට ඒකට බෑ කියන්න තරම් හේතුවක් තිබුණෙ නෑ. මොකද පුතා මුරණ්ඩු වුණාට, මම ගැන ආදරයෙන් බැලුවා.
මහ රෑ ආවත් ‘‘අම්මේ’’ කියාගෙන තමයි ගෙට ගොඩ වුණේ. හරිම හොඳයි.
මෙහෙම කාලයක් යද්දි මට නොදැනෙන ලොකු දෙයක් වෙමින් තිබුණා. පුතා මතට ඇබ්බැහි වෙමින් තිබුණා. මත්ද්‍රව්‍ය නැතිව ඉන්න බැරි බව මම දැන ගත්තේ පසුව. එද නම් මට දැනුණු බිය, දුක, වේදනාව කියාගන්න බැරි තරම්.
සුමනාවති අම්මාගේ ඇස්වලින් කඳුළු බින්දු කීපයක් නොදැනම කම්මුල දිගේ පහළට ඇදී එන්නේය.
එදායින් පසුව සිදුවුණු එක දෙයක් වත් සුබවාදී වුණේ නෑ. හැමදේම වුණේ බොහොම නරක විදිහට. පුතා මුලින් කොට්ටාවේ ගේ ඉඩම වික්කා. ඒක මම දැන ගත්තේත් පස්සෙ. ඒ සල්ලි සේරම ඉවර කළා. අපේ වාහන වික්කා. ඒ සල්ලිත් ඉවර කළා.
මම කිව්වා පුතේ හැදියන් ඔහොම නාස්ති කරන්න එපා කියලා. ඒත් එහෙම වුණේ නෑ. වැඩි දවසක් ගියේ නෑ අපේ කොළඹ ගේත් පුතා වික්කා.
ඊට පස්සෙ පුංචි කාමරයක් තියන ගේ කෑල්ලකට ගියා.
අවසානයේ අපි අන්ත අසරණ වුණා. යන එන මං නැති වුණා. හැමදේම බලාගෙන ඉද්දි නැති වුණා, විනාශ වුණා නේද කියල මට මහා දුකක් දැණුනා. මම කල්පනා කළා දැන් වෙන කරන්න දෙයක් නෑ හොඳම දේ තවදුරටත් මේ විදිහට දුකින් ඉන්නවාට වඩා, ඒ මතක සේරම මකල දාලා වැඩිහිටි නිවාසයක් වෙත එන එක කියලා.
පස්සේ මම වැඩිහිටි නිවාසයට ආවා. ජීවිතේ කොයි දේවල් තිබුණත් හරි වේගයෙන් එක වැරදීමක් මත, එක සිදුවීමක් මත ඒ දේවල් මෙහෙම කැඩී බිඳී යනවා නේද කියලා මට ලොකු අත්දැකීම් පෙළක් තියනවා. මම හිතන්නේ නැති වීම, පැවතීම, අහිමිවීම මම හොඳට දැක්කා. අද ඒ දේවල් දුකක් නෑ. ඒ පුතා කොහේ ඉන්නවද කියලවත් මම දන්නෙ නෑ. සමහර විට ඒ ගිය ගමන අනුව එක්කෝ එයා හිරේ විලංගුවෙ ඇති. නැත්නම් ජීවතුන් අතර නැතිව ඇති.
සුමනාවති අම්මා කියන්නීය. හැබෑවටම ජීවිතය යනු අරුම පුදුම නවාතැනකි. මන්දිරයෙන් ජීවිතය පටන් ගත්තත් අවසානය මන්දිරයට නොවන බව සුමනා අම්මා පැහැදිලි කරන්නිය. ඒ නිසා අනාගතය ගැන හිතන්නට බොහෝ ඉක්මන් විය යුතු නැත. සමහර දේවල් සිදු වන්නේම, අපි නොහිතන, අපි නොපතන පරිදිමයි.
නම් ගම් මනඃකල්පිතය
අසංක ආටිගල
ලංකාදීප