මේ වසරේ ගත වූ දින 69ට අලි මරණ 61 වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ලහිරු ප්‍රකාශ් පවසයි.
මේ වනවිට එම තත්ත්වය තවදුරටත් වෙනස් වෙමින් පවතී. මිනිසුන්ට සංචරණ සීමා ගැන වගක්වත් නැති තරම්ය. නැවතත් සුපුරුදු අයුරින් අලි - මිනිස් ගැටුම හෝ වෙනත් විවිධ හේතූන් මත අලි මරණ ප්‍රමාණාත්මකව වැඩි වෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගත වූ දින ගණනට සරිලන සේ අලි මරණ වාර්තා වේ.
ගත වූ කාලය තුළ අලි මරණ සිදු වූ රටාව දෙස බැලීමේදී 2017 වසරේදී අලි මරණ 256ක්, 2018 වසරේදී අලි මරණ 319ක්, 2019 වසරේදී අලි මරණ 405ක් ලෙස වැඩි වී ඇත.
ගත වූ වසර තුනක කාලය තුළ එය ක්‍රමයෙන් ඉහළ අගයන් කරා ගමන් කරමින් තිබෙන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ලහිරු ප්‍රකාශ් අවධාරණය කරනුයේ මේ යන අයුරින් මේ වසර අවසාන වනවිට අලි මරණ ගණන හාර සියයද ඉක්මවා යනු ඇති බවයි. ඉදිරියේදී අගෝස්තු - සැප්තැම්බර් මාස වන විට වියළි කාලය එළැඹෙන නිසා අලි - මිනිස් ගැටුම තවත් උත්සන්න වනු ඇති බව ඔහුගේ මතයයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සොයා බැලීමට සිදු කළ විගණනයකදී 2015 - 2017 අතර කාලයේදී සාපරාධී චේතනාන්විත ලෙස මරා දැමුණු අලි ඇත් මරණ 384 දෙනකු අතරින් සියයට අසූ නවයකට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විගණකාධිපතිවරයා සිය වාර්තාවක් මඟින් හෙළි කරයි.
වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනෙකුත් වනජීවී අපරාධ මැඬලුවද සූක්ෂ්ම හා සංවිධානාත්මක අපරාධ මැඬලීමේ බරපතළ අඩුපාඩුවක් පවතින නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවද ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ලහිරු ප්‍රකාශ් පෙන්වා දෙයි.
මව්බිම