රද්දොළුව හිඹුටාන ප්‍රදේශයේ නේවාසිකව පදිංචි දෙදරු මවකට තම ස්වාමිපුරුෂයා විසින් මහමග රැක සිට පිහියකින් ඇන අනතුරට පත්කළ පුවතක් රද්දොළුගම පොලිසියෙන් අනාවරණය වේ.
සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ (12 දා) අලූයම 5.30 පමණ වන අතර පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් මෙම සිද්ධිය සිදුවී තිබේ. පිහි ප්‍රහාරයට ලක්වූ කාන්තාව කටුනායක ආයෝජන කලාපයේ සේවය කරන දෙදරු මවකි.
මෙම කාන්තාව සහ සැකකාර ස්වාමිපුරුෂයා අතර කාලයක් තිස්සේ ආරවුල් ඇතිවී තිබේ. මොවුන් දෙදෙනා කොටුගොඩ සුමිතුරෝ මාර්ගයෙන් නිවසක් තනාගෙන කල්ගෙවා ඇති මුත් පසුගිය දිනක ස්වාමිපුරුෂයා විසින් කුස්සියේ ඇති මිරිස් අඹරණ අත්ගලෙන් ද බිරිඳට දමා ගසා ඇත. එය දුටු වැඩිමහල් දියණිය තම පියා අතහැරදමා කුලී නිවසකට යෑමට මවට යෝජනා කර ඇත.
ඒ අනුව රද්දොළුව ප්‍රදේශයේ ඇනෙක්ස් එකක් ගෙන දරුවන් දෙදෙනා සමගින් මෙම කාන්තාව රැකියාවට යමින් කල්ගෙවා ඇත. ඔවුන් නැවතී ඇති තැන සොයාගත් ස්වාමිපුරුෂයා 12වනදා තම බිරිඳ රැකියාවට යන කුස්වල ප්‍රදේශයේ පාලූ මාර්ගයේදී තම යතුරුපැදියෙන් පැමිණ ඉදිරියෙන් යන කාන්තාවකටද වෙට්ටුවක් දමමින් තම බිරිඳ අසලට පැමිණ රැකියාවට නොගිහින් වරෙන් ගෙදර යන්න කියා කෙස්වල්ලෙන් අල්ලා පාරවල් කිහිපයක් ගසා ඇත. පසුව ඉදිරියෙන් ගිය කාන්තාව කෑගැසීම හේතුවෙන් සැකකාර පුරුෂයා පලාගොස් නැවතත් පිටුපිසින් පැමිණ පාලූ ප්‍රදේශයකදී බිම පෙරලාගෙන උල් ආයුධයකින් ඇන තුවාල සිදුකර පලාගොස් ඇත.
අනතුරුව මාර්ගයේ ගමන්ගත් අයගෙන් ආධාර ඉල්ලා ඇය සමීපයේ ගමන්ගත් කාන්තාව කෑගැසීමෙන් පසු පොලිස් හදිසි ඇමතුම් ඔස්සේ පොලිසිය සම්බන්ධ කරගෙන තුවාල ලත් සීදූව විජය රෝහල වෙත යොමුකර එහිදී ඇයගේ අනතුරේ ස්වභාවය මත රාගම රෝහල වෙත යවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
මෙම සිද්ධිය පිළිබඳව රද්දොළුගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුවින්ටස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපත් ඊ. යූ. කේ. ඒකනායක මහතා, පොලිස් කොස්තාපල් (77994) කොතලාවල, පොලිස් කොස්තාපල් (81647) මයුර, පොලිස් කොස්තාපල් (9969) ගීතාන්ජන, කාන්තා පොලිස් කොස්තාපල් (10975) ප්‍රබුද්ධිකා යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ආනන්ද නිශ්ශංක - කටුනායක
දිවයින