ලෝකයක් එක්ව කාන්තා දිනය අභිමානයෙන් සමරණ අද දිනයේත් තම පවුල පෝෂණය කිරීමට දහදිය හෙළන කාන්තාවන් පිරිසක් අපට පොළොන්නරුවෙන් හමු වුණා.
ජීවන දිවියේ 61වන කඩඉම පසු කරමින් සිටින සීලවතී පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්.
මතක ඇති කාලයක සිට කුළියට ගඩොල් කැපීම වෘත්තිය වූ ඇයට කාන්තා දිනයද ගඩොල් කපන දිනයක්ම වී තිබෙනවා
ජීවිතයේ සැඳෑසමය බණක් භාවනාවක් කරමින් දරු මුණුපුරන්ගේ සුරතල් විඳිමින් ගත කරන්නට සමාජයේ බොහෝ දෙනා සිහින දකිද්දී මෙවන් කාන්තාවන්ට සිදුව ඇත්තේ හෙට දවසේ බඩ වියත රැක ගැනීමට මැටි සමඟ ඔට්ටුවීමටයි.
පොළොන්නරුව, රොටවැව ප්‍රදේශයේ පදිංචි බොහෝ කාන්තාවන්ගේද වෘත්තිය කුළියට ගඩොල් කැපීමයි.
තිදරු මවක්වන 31 හැවිරිදි නිරංජලා කුමාරි ද මැටි සමඟ ඔට්ටු වී තම දරුවන් සුරකින්නට අපමණ දා බිඳු හෙළන කාන්තාවක්.
අව්වට වැස්සට හුරු මිනිසුන් අතර ඇඟිලි තුඩඟ සියුමැලි බව රැක ගැනීමට නොව දරුමල්ලන් පෝෂණය කිරීමට වෙහෙසෙන මෙවන් කාන්තාවන්ට අදට යෙදී ඇති කාන්තා දිනය උපහාරයක්ම වේවා.