හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය විශාල පිරිසක් සහ අති විශාල ජනකායක් අදත් සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීම සිදුවන කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිටට සාමකාමී පා ගමනකින් පැමිණියා. ඒ, නෙළුම් පොකුණ රඟහල අසළ සිටයි. එහිදී සාමකාමීව විරෝධය පළ කළ පිරිස අනතුරුව පැමිණියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලය වෙතයි.
එහිදී මහා සංඝරත්නය ඇතුළු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත මන්ත්‍රීවරයාට සන්ධානයෙන් නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් කළ සංදේශයක් භාර දීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා. අනතුරුව එහි සිටි පොලිස් නිලධාරීන් ස්වාමීන් වහන්සේ දෙනමක් සහ රැස්ව සිටි පිරිසෙන් තවත් නියෝජිතයන් කිහිප දෙනෙකු අදාළ සංදේශය භාරදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැදවාගෙන යනු ලැබුවා.
අනතුරුව විපක්ෂ නායක කාර්යාලය අසළ රැදී සිටි පිරිස යළි සාමකාමී පා ගමනකින් සන්ධානයේ නාමයෝජනා අත්සන් කෙරෙන මහවැලි කේන්ද්‍රය වෙත පැමිණියේ සංදේශය ලබාදීමෙන් පසු ලැබෙන තීරණය පිළිබඳ බලාපොරොත්තුවෙන්.
එම අවස්ථාවට පැමිණි ජනතාව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට සන්ධානයෙන් නාම යෝජනා නොලැබුණහොත් තමන් මහමැතිවරණයේදී ඡන්දය භාවිත නොකරන බවයි. දුමින්ද සිල්වා හට නාම යෝජනා ලබානොදීම පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ද එම අවස්ථාවට පැමිණ සිටි ජනතාව ප්‍රකාශ කළා.
පසුව සංදේශය භාරදීම සඳහා ජනාධිපති කාර්යාලය වෙත ගිය මහා සංඝරත්නය ඇතුළු පිරිස යළි පැමිණියේ පිළිගත හැකි නියෝජිතයෙකු නොපැමිණි බැවින් සංදේශය භාර නොදුන් බව සදහන් කරමින්. අනතුරුව මෙම පිරිස කොළඹ මහවැලි කේන්ද්‍රය අසළ නැවතත් සාමකාමීව විරෝධතාවක නිරත වුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් කොළඹ - ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සහ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට පෙරේදා දිනයේත් සාමකාමී විරෝධතාවක නිරත වුණා.
මේ අතර, ප්‍රදේශ කිහිපයක පැවැති ජන හමු සහ මාධ්‍ය හමුවලදී ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබානොදීම පිළිබඳව අදහස් පළ වුණා. අම්බලන්ගොඩ පැවැති ජන හමුවකදී අදහස් දැක්වූ දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අශෝක ධනවංශ කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රථම ස්ථානයට පැමිණෙන බවයි. මේ හේතුව නිසා මන්ත්‍රීවරයා හට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීම සිදුකළ යුතු බවයි ඔහු කියා සිටියේ.
අද පැවැති බෙන්තර - ඇල්පිටිය ආසන බල මණ්ඩල රැස්වීම ඇමතූ දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට නාම යෝජනා ලබා නොදීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඇය කියා සිටියේ සන්ධානයට කොළඹ ජයග්‍රහණය කිරීමට නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගේ සහාය අත්‍යවශ්‍ය බවයි.
අද පැවැති දිවුලපිටිය ආසන බල මණ්ඩල රැස්වීමේ දී ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට නාම යෝජනා ලබානොදීම සම්බන්ධයෙන් අදහස් පළ වීම විශේෂත්වයක්. එහිදී අදහස් දැක්වූ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඉන්දික අනුරුද්ධ සදහන් කළේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට නාම යෝජනා ලබාදීම සිදුකළ යුතු බවයි.
බලපිටියේ අද පැවැති මාධ්‍ය හමුවකදී බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී අනිල් ප්‍රියන්ත ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට සන්ධානයෙන් නාම යෝජනා ලබානොදීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජනතා ප්‍රසාදය මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට පවතින බවයි.
VIDEO