ඝාතනය කෙරුණු තරුණියගේ හිස කොටස සොයා පොලිසිය අද කැළණි ගඟේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා.
කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හිසසුන් කාන්තා මළ සිරුරක් හමුවුණේ පසුගිය 1 වැනිදා පස්වරුවේදීයි.
මෙලෙස ඝාතනයට ඇත්තේ තරුණිය රත්නපුර - කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි එල් ඩී ජයසූරිය නම් 30 හැවිරිදි අවිවාහක තරුණියක් බව පසුව හඳුනාගැණුනා.
අදාළ ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඔහුගේ බඩල්කුඹුරේ පිහිටි නිවස අසළ රබර් වත්තක ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී ඊයේ අලුයම සොයාගනු ලැබුවා.
ඝාතනයට ලක් වූ තරුණිය පසුගිය පෙබරවාරි 27වැනිදා රාත්‍රියේ නිවසින් පිටව ගොස් සැකකරු සමග හංවැල්ල බස් නැවතුම්පොළ අසල ලැගුම්හලක් වෙත පැමිණ තිබෙනවා.
පසුගිය සඳුදා සැකකාර පොලිස් නිලධාරියා ගමන් මල්ලක්ද රැගෙන ලැගුම්හලෙන් පිටව ත්‍රිරෝද රථයකින් හංවැල්ල බස් නැවතුම් පොළ වෙතත් හංවැල්ල පිටකොටුව බස් රථයකින් කොළඹටත් පැමිණ තිබුණා.
මළ සිරුරේ හිස තවමත් සොයාගෙන නොමැති බැවින් තරුණියගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා DNA පරික්ෂාවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඝාතනය කළ තරුණියගේ DNA සැසඳුම් වාර්තාව ලබා ගැනීම සඳහා ඇගේ මවගේ සහ සොහොයුරාගේ ජෛව සාම්පල ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
අදාල DNA පරීක්ෂණය රජයේ රස පරීක්ෂකවරයා විසින් සිදුකරන අතර එම වාර්තාව ලැබීමට සතියක පමණ කාලයක් ගතවනු ඇති.
මියගිය කාන්තාවගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරෙන්න ඉන් අනතුරුවයි.
මේ අතර දිවි නසාගත් උප පොලිස් පරික්ෂකවරයාගේ සිරුර සම්බන්ධයෙන් කොවිඩ් පරික්ෂාවක් සිදුකර තිබෙනවා.
එහි ප්‍රතිඵලය ලැබීමෙන් අනතුරුව මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
මේ අතර මෙම යුවල නවාතැන් ගත් හෝටල් කාමරයේ තිබී රුධිර පැල්ලම් කිහිපයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
ඝාතනයෙන් පසු නානකාමරයේ දී කාන්තාවගේ ගෙල කපා දමන්නට ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් සැක පලකරනවා.
මේ අතර, අදාල තරුණියගේ මළ සිරුර හමුවීමෙන් පසු එම මළ සිරුර තම බිරිඳගේදැයි දැනගැනීම සඳහා දුරකථන ඇමතුම් 200කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළා.
VIDEO