වාරියපොල කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක් ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම අනතුරින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලු 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය කියා සිටියේ.
තුවාල ලැබුවන් සහ මියගොස් ඇති දෙදෙනා ත්‍රී රෝද රථයේ ගමන් කළ පිරිසක්.
මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ රියදුරා වන අවුරුදු 40ක පුද්ගලයෙක් සහ ඔහුගේ මව වන අවුරුදු 69ක් වන කාන්තාවක්.
ත්‍රී රෝද රථ රියදුරාගේ බිරිඳ වන 34 හැවිරිදි කාන්තාව සහ ඇයගේ අවුරුදු 9ක් සහ 13ක් වන දියණියන් දෙදෙනා කටුපොත රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.
රිය අනතුරට සම්බන්ධ පොලිස් ජිප් රථය කටුපොත පොලිසියට අයත් එකක්.
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදීයි මෙම අනතුරට ඔවුන් ලක්වී ඇත්තේ.
එම ජිප් රථය පැදවූ පොලිස් කොස්තාපල්වරයා ද තුවාල ලබා කටුපොත රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.
ත්‍රී රෝද රථයේ ගමන් කළ පිරිස වේයන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුරය දක්වා වන්දනා ගමනක නිරතවීම සඳහා පැමිණ සිටි පිරිසක් බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශණයක් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.