පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ පස්වරු 4 ට පමණ පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණි බවයි.
එහිදී අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පිළිගනු ලැබුවා.
අනතුරුව පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා වෙත මෙරට යුද හමුදාවේ උත්තමාචාරයක් පිළිගැන්වීම සිදුකෙරුනා.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ජා අරලියගහ මන්දිරයේදී ආරම්භ වී තිබෙනවා.
"පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස කටුනායන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී අද (23) දින පස්වරුවේ මහත් හරසරින් පිළිගනු ලැබුවෙමි.
අග්‍රාමාත්‍යවරයා ලෙස මගේ ආරාධනාවකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණියහ.
පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ඉම්රාන් ඛාන් මහතා එරට 22 වැනි අග්‍රාමාත්‍යවරයා ය. අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඒ මහතා ශ්‍රී ලංකා සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය වෙයි. එමෙන් ම 2021 වසරේ එතුමාගේ පළමු නිල විදෙස් සංචාරය ද මෙය වේ.
පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සමඟ එරට විදේශ හා වාණිජ අමාත්‍යවරුන් ඇතුළු විශාල වෙළඳ දූත පිරිසක් ද මෙ රටට පැමිණ තිබේ.
කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණි පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් හමුදා වෙඩිමුර 19ක් සහ හමුදා සම්මාන ආචාර පෙළපාලියක් ද පැවැත්විණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීහු ද ඊට එක්වූහ.
අනතුරුව පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපළෙහි වූ විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි (Golden Book) සටහනක් තැබුවේ ය.
පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මා අතර පැවත්වෙන ද්විපාර්ශවික සාකච්ඡාව අද සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.
ඉන් අනතුරුව අප දෙදෙනාගේ සහභාගීත්වය ඇතිව දෙ රට අතර ආර්ථික හා වෙළඳ, ආයෝජන, කාර්මික තාක්ෂණ, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ගිවිසුම් 5ක් අත්සන් තැබීමට නියමිත ය.
පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට (24) දිනයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත ය. අනතුරුව කොළඹ දී පැවැත්වෙන වෙළඳ හා අයෝජන සමුළුවට එක්වන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා නැවත සිය රට යාමට පෙර ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් හමුවනු ඇත.
මෙම පිළිගැනීමේ උත්සව අවස්ථාව සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, මන්ත්‍රීවරු හා අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා හා ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරී පිරිසක් ද එක්ව සිටියහ.
අගමැති මහින්ද රාජපක්ෂ
2021.02.23"