ඇය ගැන කාලෙන් කාලෙට එක එක තාලයේ පුවත් මැවෙනවා. හැබැයි ඇය ගැන මතුපිටින් කතා කතා කරන්න බැහැ. මේ දවස්වල ඇය සත්‍ය අවබෝධයෙන් ජීවත්වෙන්න උත්සාහ කරන ගැහැනියක්. තමන් ගැන ඇය කෙළින් කතා කරනවා. හැබැයි මේ කෙළින් කතා කරන්නේ තමන්ට වැරදුන නිසාමදෝ. අපි ඒ කතාව කියන්න ඇයට ආරාධනා කළා. ඇය වෙන කවුරුවත් නොව කේ. සුජීවා.
කියන්න හිමියනි - නිවන් යන්න මට කල්මදිවේ යයි - දිවැස් හෙළා මේ ගීතයෙන් කියැවෙන්නේ මගේ කතාවයි.
ඇත්තටම මට කල්මදිවුණානේ. අවුරුදු එකොළහක් ඇතුළත තමයි ධර්මය මොකක්ද කියලා හොයන්න පටන්ගත්තේ.
මම උපතින් දමිළ කාන්තාවක්. මගේ තාත්තා හින්දු. මගේ අම්මා කතෝලික. මම ගමේ ඉන්න කොට පහේ ශිෂ්‍යත්වය ගන්නකම් හැදුණේ වැඩුණේ හින්දු ආගමේ විදිහට. අම්මත් එක්ක පල්ලි යනවා. තාත්තත් එක්ක කෝවිල් යනවා. අපේ තාත්තා කෝවිල් භාරකරුවෙක්. මගේ තාත්තා පෝඩිආර් පරම්පරාවෙන් පැවැත එන අයෙක්. කෝවිල් වලට යනව එනවා. මම ඉපදුණ ගමන් කෝවිලකට භාර කරලා තියෙනවා. ඒ වගේ පවුලක තමයි මම ඉපදුණේ. ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වයෙන් පස්සේ මම වෙනත් පාසැලකට යොමුකරනවා. එතැනදි මාව අපේ අම්මා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්න යොමුකරනවා. එතැන හින්දු ආගම කියලා දෙන්නේ නැහැ. එතැන මට අනිවාර්යයෙන්ම සිද්ධවෙනවා කතෝලික ආගම හදාරන්න. ඊට පස්සේ තමයි මම බයිබලය ගැන හදාරන්න නැඹුරුවුණේ. මට සාමාන්‍ය පෙළ විභාගයේ ආගමට ඞී සාමාර්ථයක් තියෙන්නේ. මම මේ ආගම් දෙකම ගැන ඉගෙන ගත්තා.
මීට අවුරුදු එකොළහකට කලින් තමයි ධර්මය ගැන හොයන්න පටන්ගත්තේ. තාත්තාගේ අම්මා සිල් ගන්න එක්කගෙන යනකොට තමයි මම මුලින්ම බණක් අහන්නේ. ඊට පස්සේ මගේ බබාව බලාගන්න ගෙදරට ආපු කාන්තාවක් මාර්ගයෙන් තමයි මේ සඳහා යොමුවෙන්නේ. ඇයගේ ක්‍රියාපටිපාටිය ගැන මගේ හිතේ පැහැදීමක් ඇතිවෙනවා. ධර්මය ගැන හොයන්න පටන්ගත්ත කාලේ ඒ ගැන මම එක එක්කෙනා එක්ක හොයන්න පටන්ගන්නවා. ඒ ගැන විමසනවා. නමුත් මට ලැබෙන්නේ හරි තොරතුරු නෙමෙයි. අනික මේක සමහර අවස්ථාවල විහිළුවක් බවට පත්වුණ අවස්ථාත් තියෙනවා. එතකොට තමයි මම බණ අහන්න පටන්ගන්න වැඩිපුර නැඹුරු වුණේ. ප්‍රසංගවලට යනකොට පවා මම බණ අහන්න පුරුදු වෙලා හිටියා. අන්තර්ජාලයේ යූ ටියුබ්වලින් පවා මම බණඅහන්න පටන්ගත්තා.
මෑතක මම රූපවාහින වැඩසටහනකට ගියවෙලාවේ මගේ ඉන්ටර්වීව් එකෙන් පස්සේ ඇත්තටම මුළු ලෝකයේම ඉන්න” බුද්ධදර්ශනය මොකක්ද කියලා අවබෝධයෙන් ඉන්න සෑහෙන පිරිසක් මට කතා කළා. විවිධ අසපුවලින් පොත්පත් පවා මට දැන් ලැබෙනවා. මෑතක ඉඳලා තමයි මට ඒ දේවල් ලැබෙන්න පටන්ගත්තේ.
එතකම් මම මේක තනියම තමයි හෙව්වේ. මුලින්ම මම හෙව්වේ ත්‍රිපිටකයේ දමිළ පරිවර්තනයක්. නමුත් මට හම්බවුණේ නැහැ. ඊට පස්සේ මම ඉංග්‍රීසි පරිවර්තනයක් හොයනවා. එතැනින් නොනැවතී පාලි පරිවර්තනයක් පවා මම සොයාගන්නවා. මට ලොකු වුවමනාවක් ඇතිවෙනවා ධර්මය මොකක්ද කියලා හොයාගන්න. ඒ වගේම ලොකු තිබහක් ඇතිවෙනවා මේක ගැන හොයන්න.
ධර්මය හොයන මුල් අවධියේ අවුරුදු අටකට කලින් තමයි බෝධි පූජා තියන්න පටන්ගත්තේ. ඒ යනකොට මිනිස්සු මගෙත් එක්ක කතා කරන්න පටන්ගන්නවා. මගේ දිහා බලනවා. පොඞ්ඩක් හරි නමක් තියෙන නිසා කට්ටිය මාත් එක්ක කතා කරනවා. එතකොට මට හිතෙන්නේ කෙනෙක් වන්දනා කරන්න ගිහිල්ලා මම හින්දා ඒ වැඬේ සියයට සියයක් කරගන්න බැරිවෙනවා කියලා. මාව එතැන මාතෘකාවක් වුණාද කියලත් වෙලාවකට හිතිලා තියෙනවා. ඊට පස්සේ මම පන්සල් යන්න පටන්ගත්තේ රාත්‍රී එකොළහෙන් පස්සේ. එතකොට හැමෝම වැඳලා ගිහින් ඉවරයි. ඒ වෙලාවට මම පන්සල අතුගානවා. මල් ආසන සුද්ධපවිත්‍ර කරනවා. අටවිසි බුදුරාජණන්වහන්සේලාගේ බුදුමැදුර ශුද්ධපවිත්‍ර කරනවා. සමහර වෙලාවට මම මේවා කරලා ඉවරවෙනකොට පාන්දර එක දෙක විතර වෙනවා. එහෙමත් නැතිනම් එළිවෙනවා. උදේට ගිහියෝ බුද්ධපූජාව අරගෙන එනවා. එතකොට මට ලොකු සතුටක් දැනෙනවා. මොකද ඔවුන්ට වැඩක් කරන්න නැහැ. ඔවුන්ට බුද්ධ පූජාව පවත්වන්න පුළුවන්.
මම මේ දේවල් කරන්නේ ප්‍රසිද්ධියක් බලාගෙන නෙමෙයි. හිතට හරි කියලා දැනෙන දේ තමයි මම කරන්නේ.
ඇත්තටම ජනප්‍රිය වෙන්න නම් මට මේ දේවල් කරන්න වුවමනා නැහැනේ. මම සමහර වෙලාවට මල් දාහ දෙදාහ පූජා කරන වෙලාවල් තියෙනවා. මල් දසදහසක් පූජා කරපු වෙලාවලූත් තියෙනවා. ඒ හැමදේම කිසිම කෙනෙක් දකින්නේ නැහැ. මගේ පවුලේ අය දකිනවා. මගේ යාළුවෝ දන්නවා. මම කරන හැම පින්කමක්ම මම ෆොටෝ ගන්නවා. මම ඒවා ෆොටෝ ගන්නේ ඒවා පබ්ලිෂ් කරන්නවත් සෝෂල් මීඩියා දාන්නවත් නෙමෙයි. මම ඒවා දැකලා පුදුමාකාර මනසට නිදහසක් ලබාගන්න පුළුවන්. මීට වැඩිය දෙයක් කරන්න වුණත් මම කැමැතියි. ප්‍රසිද්ධිය බලාගෙන මේ දේවල් කරන්නේ නැහැ. හැබැයි නාලිකාවකින් මේ පණිවුඩය ලෝකයට ගිය නිසා මට සෑහෙන උදව් ලැබෙනවා. සැබෑම බෞද්ධයෝ මට ධර්මය අවබෝධ කරගන්න උදව් කරනවා. මේක විවේචනය කරන අපහාස කරන මාව පහත් කරලා කතා කරන පිරිසකුත් ඉන්නවා. සියයට අනූනමයක් මට මේ ධර්මය අවබෝධ කරගන්න උදව් කරන අතරේ සියයට එකක් ඔයවගේ දේවල් කරනවා.
ඇත්තටම කියනවා නම් මේ ළඟකදි දවසක් බණකට මාතෘකාවක් විදිහට මගේ නම කියැවුණා. ඒ බණ අහනකොට මට හිතාගන්න බැරිවුණා. ලංකාවේ ප්‍රසිද්ධ හිමිනමක් තමයි ඒ බණකතාවේ මගේ නම සඳහන් කරලා තියෙන්නේ. ඒ සඳහන් කරලා තියෙන්නේ ධර්මය ගැන හොයන්න පුළුවන් ක්‍රම ගැන මා අනුගමනය කළ ක්‍රියාමාර්ග ගැනයි.
මම බෞද්ධ දර්ශනය ගැන හොයන්න පටන්ගන්නේ මීට අවුරුදු එකොළහකට කලින්. එතකොට මගේ ජීවිතයට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ කාලේ මම සතුටින් ජීවිතය ගත කරපු කාලයක්. එතකොට මම හිතන්නේ නැහැ බුද්ධ වන්දනා කරන එක බුද්ධ පූජා පවත්වන එක බණ අහන එක පටන් අරගෙන මම සෑහෙන කාලයක් වෙනවා. 2013 වසරේ මම එක දිගට දවස් අනූවක් බුද්ධ පූජා පවත්වන්න පටන්ගත්තා. පස්දෙනෙක් එකතුවෙලා කඨින පූජාවක් පවා සිද්ධකළා. මේ හැම දෙයක්ම ඊයේ පෙරේදා පටන්ගත්ත දේවල් නෙමෙයි. මට මේ දේවල් කරන්න මහලොකු ධනයක් නැහැ. හැබැයි මට හම්බවෙන සෑම රුපියලකින්ම පිනක් කරන්න පුළුවන්දෝ කියන හැඟීමෙන් තමයි ජීවත්වෙන්නේ.
මම බුද්ධ වන්දනාව ගැන පොතක් ලියන්න පටන්ගත්තා. දැන් ඒ ග්‍රන්ථයේ වැඩකටයුතු ගොඩක් අවසන්. දමිළ මනුස්සයෙක් බුද්ධ ධර්මය ගැන හරියට දන්නේ නැහැ. අනික හැම නාලිකාවකින්ම බුද්ධ වන්දනාව හැමදාම උදේට ඇහෙනවා. මම පොඩි කාලෙත් රූපවාහිනිය දාපු ගමන් බුද්ධ වන්දනාවෙන් තමයි නාලිකාව ආරම්භ වන්නේ. හැබැයි දමිළ කවුරුවත් දන්නේ නැහැ මෙහි අරුත. ඒ නිසාම තමයි මම මේ දේ කරන්න පෙලඹුණේ. ඒකෙ වැඩ තවම ඉවර නැහැ. මට හිතෙනවා ඒක මට හැකි ඉක්මනින් දමිළෙන් මුද්‍රණය කරලා නොමිලේ බෙදාදෙන්න පුළුවන් වේවි කියලා. මේ පොත ලියන්න මට පන්සල් කිහිපයකින් උදව් උපකාර කළා. අනිවාර්යයෙන් මේ පොත නොමිලයේ බෙදාදෙන්න තමයි උත්සාහ කළේ.
මේ හැමදේම අතහැරිලා යයිද කියන්න බැහැ. ධර්මය ගැන අවබෝධ කරගත්තු නිසා මම සැහැල්ලූවෙන් ජීවත්වෙනවා කියන දේ මට අවබෝධ වෙලා තියෙනවා.
දිනේෂ් විතාන
දිවයින