මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණ වූ විජය කුමාරණතුංග සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් සිනමාවේ දුර ගමනක් යෑමට අත්පොත් තැබුවා.
සිය දිවිය තුළ චිත්‍රපට 114 ක ප්‍රධාන චරිත රඟපා ඇති මොහු එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, ගඟ අද්දර, බැද්දේගම, පාරදිගේ, මහගෙදර, කැඩපතක ඡායා, ක්‍රිස්තු චරිතය වැනි බොහෝ ජනප්‍රිය චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ පෙව්වා.
මේ අතර, විජය කුමාරතුංගයන් ගයන "දේවදාර ගස් අතරින්" ගීතය ලියූ ප්‍රවීණ මාධ්‍යවේදී, ගී පද රචක ආනන්ද පද්මසිරි මහතා, විජය ගැන ඔහුගේ මුහුණු පොතේ පළ කර තිබූ සංවේදී සටහනක් අපට හමුවුණා.
මේ ඒ සටහන..........
ඒ 1988 පෙබරවාරි 16 වෙනිදාය. එදින මා සුපුරුදු ලෙස සිටියේ කොළඹ 13 'මල්ටිෆැක්ස් ' ආයතනයේ එවකට මා සේවය කළ ' සරසි' හා ' සත්සර ' පත්‍ර කාර්යාලයේය.දහවල් වනවිට මේ රටේ මෙන්ම අපේද ඉරණම් වෙනස් වෙන ආකාරයේ බිහිසුණු යමක් සිදුවෙතැයි අල්ප මාත්‍රයක හැඟීමක් අප සිත්හි නොතිබුණේය. එහෙත් සියල්ල වෙනස් වූයේ දහවල් 12. 20 ටය. අපගේ ආදරණීය ප්‍රියතම නළුවා - ගැඹුරු මියුරු සරින් ගැයූ ගායකයා - දේශය පාලනය කරන්නට නොව දේශයට සේවය කරන්නට පැතූ උත්තුංග මානවහිතවාදි දේශ සේවකයා - සදාදරණීය මිතුරා සහ උදාරතර minisaa වූ ' විජය කුමාරතුංග ' නොහොත් ' අපේ සතුට ' නීච - නින්දිත - මිලේච්ඡ ජනතා විමුක්ති පෙරමුණේ පාහර නියමයෙන් ලයනල් රණසිංහ මිනීමරුවා විසින් බිලි ගැනුනේ ඒ කාලකන්නි හෝරාවේදීය.ඒ රුදුරු පුවතින් සැලී අප්‍රාණික වූ ගත යන්තම් වාරු කරගෙන ඊළඟ මොහොතේ මා කෙලෙස පොල්හේන්ගොඩ විජයගේ නිවසේ අඹ ගස යට ඔහු මරා දැමූ තැනට ගියාදැයි කියා නිශ්චිතව සටහන් කළ නොහැකි තරම් මනසේ එදින සිතුවම ව්‍යාකූලය. ලෝකයක් තරමට අප ආදරය කළ මිනිසාගේ රතු ලේ බිඳු හැලුණු අඹ ගස යට මගේ හදවත පුපුරා ගියේය. ඝාතකයන් කෙරෙහි උපන් වෛරයෙන් දැවී ගියේය. ජනතාවට විමුක්තිය උදා කරන්නට යැයි කියමින් ' රත්තරන් මිනිසා ' මරා දැමූ එම නීචයන් ගැන එදා හද උපන් වෛරය අදද එලෙසම හදේ පවතී.එම පෙබරවාරි 21 වෙනි දින එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටුවා එහි නායකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වීමට සිටි විජයගේ ගමන එසේ නවතා ලීමෙන් එවකට අපද එක්ව සිටි ශ්‍රී ලංකා මහජන පක්ෂය ප්‍රමුඛ වාමාංශික බලවේගය ගල් ගැසුණි. එය එසේ නොවූවා නම් මේ රටේ ඉරණම ලියවෙන්නේ වෙනත් ආකාරයකටය. අපගේ දේශපාලන පාක්ෂිකත්වයන් පසෙක තබා ඒ වනවිට අප මහජන පක්ෂය හා විජය වෙත බැඳී සිටියේ සැබෑ වෙනසක් කළ හැකි නායකයා ඔහු බව සියළු ක්‍රියාකාරිත්වයන් තුළින් ඔප්පු වූ නිසාය. එහෙත් අපගේසිහින වලට වෙඩි තබන ලදී. අප දස අත විසිරුවා හරින ලදී. සියල්ල සුණුවිසුණු කරන ලදී.විජය මරා දමන්නට දින 4 කට පෙර ඔහු රන් රුවක් සේ බැබළෙමින් සිය සමීපතම මිතුරු එච්.ආර්.ජෝතිපාලයන්ගේ 52 වෙනි ජන්ම දින සමරු උළෙල ටවර් රඟහලේදී ඇමතුවේය. ඒ ඊට මාස කීපයකට පෙර මියගිය ජෝතිගේ පිළිරුවද විවෘත කළ දිනයි. තම ජනප්‍රියත්වයෙන් හරි අඩකටත් වඩා ලැබුණේ තමාට පසුබිමෙන් ගී ගැයූ ජෝති නිසා බව නිතර කියු විජය එදින කතාවේදීද අවධාරණය කළේ පුරා වසර විස්සක් තමන් වෙනුවෙන් ගී ගැයූ ජෝති නැතිවිට ඒ හඩ තමාට ලබාදෙන්නට අන් කිසිවෙකුට තියා තමාටද නොහැකි බවය. ටවර් රඟහල දෙදරා යන අත්පොළසන් වැස්සේ ආදරණීය ජෝති ගැන විජය කළ ඒ කතාවෙන් පසුව එක්තරා කලාකරුවෙකු මාව අල්ලාගෙන පසෙකට ගොස් එම කතාව හෙළාදකිමින් පැවසුවේ ' ඒවා පවතින කතා ' නොවන බවයි. දැඩි ලෙස ඔහු විජයට දොස් පැවරීය. මම නිහඬව ඉවසා සිටියෙමි.දින හතරකට පසුව පෙබරවාරි 16 වෙනිදා දවල් විජයට වෙඩි තබා මරා දැමූ විට ටික වේලාවකින් එම කලාකරුවා එතැනටද ආවේය. නැවත මාව අල්ලාගෙන පසෙකට ගිය ඔහු පැවසුවේ මෙසේය." මම එදා කිව්වා නේද ඔවා පවතින කතා නෙවෙයි කියලා ..."පෙබරවාරි 12 වෙනිදා ටවර් රඟහලේදී එම කලාකරුවා විජයට දොස් නගද්දී මා නිහඬව ඉවසා සිටියත් විජය මරා අපගේ ලෝකය විනාශ කර තිබියදී එම කලාකරුවා (සැබෑ කලාකරුවෙකුට නම් එවැනි ලෙස හැසිරිය නොහැක.) එසේ කියද්දී මගේ ලේ කෝපවිය. ඊළඟ මොහොතේ මගේ අත් - පා පවා ක්‍රියාත්මක වී එම ඊනියා කලාකරුවා මගෙන් මැරුම් කනු ඇතැයි සිතුවිල්ලක් පැන නැඟුණු නිසා ඔහුගේ අත ගසා දමා මම විජයගේ නිවස තුළට පැන්නෙමි. මා අතිමහත් ලෙස කෝප වූ බව තේරුම් ගත් ඔහු ඒ මොහොතේම එතැනින් පළා ගොස් තිබුණි.ජෝති හා සමානවම විජයට අතිශයින් ආදරය කළ ප්‍රෙඩී සිල්වා කලාකරුවා නොබෝ වේලාවකින් විජය මරා දැමුණු අඹ ගස යටට ආවේය. විජයගේ රතු ලේ තැවරී තිබූ පස් මිටක් අතට ගත් ප්‍රෙඩී මෙසේ කීවේය. " දැන් ඉතින් අපිට කන්න වෙන්නෙ මෙන්න මේ පස් ... "එසේ කියද්දී සුමිතුරු ප්‍රෙඩීගේ දෑසින් කඳුළු වැල් කඩා වැටුණු අන්දම මට කිසිදා අමතක නොවේ. සැබැවින්ම ප්‍රෙඩී කී පරිදි සිංහල සිනමාව මියැදී කාට කාටත් ' පස් කන්නට ' සිදුවූයේ ජෝති - විජය අහිමි වීමෙන් බව ඔප්පු වී හමාරය.පෞද්ගලිකව විජයගෙන් මට ඉතිරි වූයේ ඔහුට මා ලියූ ' දේවදාර ගස් අතරින් ' ගීතය පමණි. මා සතුව තිබු සුවිශාල සේයාරූ සංඛ්‍යාවක් විනාශ වී ගියේය.සියල්ල විනාශ වන බව - සියල්ල අනිත්‍ය බව සම්මා සම්බුදු රජාණන්වහන්සේ දෙසූ පරම සත්‍යයයි. එහෙත් විජය ලෝ දහම අනුව නැසුණා නොවේ. ඔහු මරා දමන ලදී. රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කළේ විජේවීරගේ අණයි. විජේවීරගේ දෙවැනියා වූ උපතිස්ස ගමනායක pawaa විජය මරා දමනවාට එරෙහි වූවත් නායක ඝාතකයාගේ අණ බලවත් විය. කොටින්ම තුවක්කුකරුවාට අණ දී තිබුණේ විජයගේ සුන්දර මුහුණ සුණුවිසුණු කරන්නටමය. වරක් වෙඩි තබා මෝටර් සයිකලය වෙත ගොස් යළිත් පැමිණ තුවක්කුකරු විජයගේ හිස තවත් වෙඩි වරුසාවකින් නැහැවූයේ ඒ නිසාය. විජය ඇතුළු දහස් ගණනක් මැරූ පාපයේ ශාපයta ජනතා විමුක්ති පෙරමුණ අදත් lak wei. ඒ පව ගෙවා නිම කළ නොහැක. කිසිවෙකුට නීච ජනතා විමුක්ති පෙරමුණ හෝ විජේවීර ' ශුද්ධවන්තයන් ' කළ නොහැක්කේ සත්‍යය දන්නා බොහෝ පිරිසක් තවමත් සිටින නිසාය. අවලස්සන රෝහණ විජේවීර විසින් ලස්සනම ලස්සන විජය කුමාරතුංගයන් මරා දැමූ බව ලියන්නට මම නම් බිය නොවෙමි." ආදරණීය විජය ! ඔබ යළි මෙවන් රටක නූපදීවා ! ඝාතක තිරිසනුන්ට සදා ශාප වේවා !.."ආනන්ද පද්මසිරිමෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක ආනන්ද පද්මසිරි මහතාගේ මුහුණූ පොතෙන්...


