තමාගේ පෙර පෙම්වතාගේ බිරිඳට වෙස්වළාගෙන ගොස් මරණ තර්ජනය කළ කාන්තාවක් පිළිබඳව තලාතුඹය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඇය විසින් මහ රෑ පෙම්වතාගේ නිවසට ගොස් ඇති අතර එහිදී නිවැසියන් හොරුන් පැමිණ ඇති බවට මහ හයියෙන් කෑ ගසන්නට වී ඇත.
එමෙන්ම ඔවුන් පොලිස් ක්ෂණික ඇමැතුම් ඒකකයට (119) ලැබුණ ඇමැතුමක් මත තලාතුඔය පොලිසියද වහාම ක්‍රියාත්මක වී අදාළ නිවෙස සොයා රාත්‍රි 9.30ට පමණ ගොස් ඇතත් නිවෙස පිහිටි ස්ථානය නිශ්චිතවම සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වී ඇත.
එහිදී නිලධාරීන් ඇමැතුම දුන් පුද්ගලයා අමතා අදාළ නිවෙස සොයා ගැනීම සඳහා පොලිසිය සිටින ස්ථානයට පැමිණෙන්නැයි කියා තිබේ. මේ අතර හෙල්මට් එකක් හා ජැකට්ටුවක් පැලඳ සිටි අයෙකු එකී නිවෙසට පැමිණ එහි සිටි කාන්තාවකට පිහියක් පෙන්වා තර්ජනය කර ඇති අතර එම කාන්තාව 'මෙන්න හොරු ඇවිත්' යැයි මහ හඩින් කෑ ගසා ඇත.
ඇගේ හඬ ඇසී අසල්වාසීන්ද එම නිවෙසට දිව ඇවිත් ඇති අතර එහිදී තර්ජනය කළ පුද්ගලයා අසල කැලෑවට පැනගොස් තිබේ.
මේ වන විට පොලිසියද එම නිවෙසට ළඟා වූයෙන් ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ හෙල්මටයක් හා ජැකට්ටුවක් ඇඳ සිටි පුද්ගලයා කැලෑ වැදුණු බවයි. පොලිසියද කැලෑව පීරමින් සෙව්වද අදාළ තැනැත්තා අල්ලා ගැනීමට නොහැකි වී ඇත.
හොරු පැන්නා යයි කෑ ගැසූ කාන්තාව පොලිසියට කියා ඇත්තේ හෙල්මටයක් හා ජැකට්ටුවක් ඇඳ පැමිණ තමාට මරණ තර්ජන එල්ල කළේ පිරිමියෙක් නොව තම ස්වාමියාගේ පැරැණි පෙම්වතියක බවයි. ඒ අනුව පොලිසිය එම කාන්තාවගේ නිවෙස සොයා යන විට ඇය හතිදමමින්, දහදිය පෙරා ගෙන සිටිනු දක්නට ලැබී ඇති අතර ඇය කුමක් කරමින් සිටියේ දැයි ප්‍රශ්න කළ විට නිදාගෙන සිටි බව ප්‍රකාශ කර ඇත.
මුහුණේ සහ ඇඟෙහි මෙතරම් දාදිය මන්දැයි විමසූ විට පොලිසිය දැක බියට පත් වූ නිසා යැයි ඇය පවසා ඇත. පොලිස් නිලධාරීන් වඩාත් විමසිලිමත්වීමේදී ඇයගේ අත දිගේ කූඩැල්ලන් ගමන් කරනු දැක නිදා සිටියේ නම් කූඩැල්ලන් ආවේ කෙසේ දැයි විමසා ඇයගේ පාද පරීක්ෂා කර ඇත. පාදවල ඇඟිලි අතරේද කූඩැල්ලන් එල්ලී සිටිනු දැකීමෙන් පොලිසිය පහසුවෙන්ම සිද්ධිය අනාවරණය කරගෙන තිබේ.
වයස අවුරුදු 40ක් පමණ වූ මෙම කාන්තාව අවිවාහක තැනැත්තියකි. ඇය තම පැරැණි පෙම්වතා බැලීමට මහ රෑ ගොස් මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මොවුන් සියලු දෙනාම පොලිසිය වෙත පසුදා කැඳවූ පොලිස් නිලධාරීන් සිද්ධිය සමථයකට පත්කර තිබෙන බවට වැඩිදුරටත් වාර්තා වේ.