ඔබ මෙතෙක් ආ දිගු සංගීත ගමනේ මුල් පියවර සනිටුහන් වෙන්නෙ කොහොමද?
මම පාසල් ගියේ කොටහේන ශාන්ත බෙනඩික් විද්යාලයට. පාසලේ ඒලෙවල් කරන කාලයේදීම යාළුවො ටිකක් එකතුවෙලා අපි හදාගත්ත පොඩි බෑන්ඞ් එකක් ‘වෝරෑම්’ කියල. ඒ හදාගත්ත බෑන්ඞ් එකෙන් අපි පොඩි පොඩි උත්සවවලට සංගීත සැපයූවා. ඔය කාලෙ ඕකට අපේ ගෙවල්වලිනුත් පොඩි පොඩි බාධා ආවා. නමුත් අපිට මියුසික්වලට තිබුණ පිස්සුවට තමයි ඕක කරගෙන ගියේ.
බේස් ගිටාර් වාදකයෙක් වුණු ඔබ ශ්රී ලංකා ගුවන් හමුදාවේ සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්නෙ ගායකයෙක් විදිහට?
ඉස්කොලෙන් අවුට් වෙලා අපි හදාගත්ත බෑන්ඞ් එකේ ප්ලේ කරන කාලෙදිම තමයි මාව ශ්රී ලංකා ගුවන් හමුදාවෙ ‘ඊගල්ස්’ බෑන්ඞ් එකට සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නෙ. ඒකෙන් පාස්වෙලා මට ඊට පස්සෙ ‘ඊගල්ස්’ කණ්ඩායමේ නිත්ය ගායකයෙක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම බේස් ගිටාර් එක අත්හරින්න වුණේ නම් සින්දු කියන ගමන් ගිටාර් ගහන්න තිබුණ අපහසුව හින්ද. මොකද මම ගොඩක්ම ගායනා කළේ බටහිර ගීත. ඒ ගීත වාදනය කරන ගමන් කියන්න තිබුණ අපහසුව තමයි ගිටාර් එක අත්හරින්න හේතු වුණේ.
හැබැයි ඔබව ගායකයෙක් විදිහට රටම හඳුනගන්නෙ මේරියන්ස් හරහා?
ඇත්තටම මේරියන්ස් හින්ද තමයි මගේ නම ජනප්රිය වෙන්නෙ. මම ඊගල්ස් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා ටික කලක් විදෙස්ගත වෙලා ඉඳල ආපහු ලංකාවට ආවට පස්සෙ ඊගල්ස් සංගීත කණ්ඩායමේ මාත් එක්ක වැඩ කළ සුමිත් ප්රියංකර හරහා තමයි මට නලින් පෙරේරාව හඳුනගන්න ලැබෙන්නෙ. ඊට පස්සෙ නලින් පෙරේරා කරන යෝජනාවකට අනුව තමයි මම හින්දි ගීත, දෙමළ ගීත ගායනා කරන්න පටන් ගන්නෙත්. ඔය විදිහට මම මේරියන්ස් එක්ක අවුරුදු 5ක් වැඩ කළා.
නම හදාගත්තට පස්සෙ ඔබ මේරියන්ස් අත්හරිනව?
නෑ. මම මේරියන්ස් එකෙන් අයින් වුණේ ඔවුන් එකපාරට කොන්සට් ප්ලේ කරන්න ගත්ත. ඒ හින්ද මට ඇතිවුණ ආර්ථික අපහසුතාත් එක්ක තමයි මම නලින්ට කලින්ම කරුණු පැහැදිලි කරල දීල තමයි මේරියන්ස් එකෙන් අයින් වුණේ. අනිත් එක තමයි මම මේරියන්ස් එකෙන් අයින් වෙලා වැඩ කළේ පොඩි බෑන්ඞ් එකක් එක්ක.
ඔබේ ජීවිතයේ සුවිශේෂීම කාලය එළැඹෙන්නෙ ඊට පසුව?
ඇත්තටම ඊට පස්සෙ තමයි මට සන්ෆලවර් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ. මම පොඩි බෑන්ඞ් එකත් එක්ක වෙඩින් එකක ප්ලේ කරනව නීල් අයිය දැකල තමයි සන්ෆලවර් එක්ක එකතු වෙන්න කියල මට ආරාධනා කළේ. ඊට පස්සෙ මම සන්ෆලවර් එක්ක වෙඩින් දෙකක විතර වැඩ කළාට පස්සෙ තමයි සන්ෆලවර් එක්ක නිත්ය සාමාජිකයෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තෙ.
ඔය වෙනකොට සන්ෆලවර් එකේ හිටිය ගායකයන්ගෙන් ඔබට ප්රශ්න ඇතිවුණේ නැද්ද?
මම යනකොට සන්ෆලවර් එකේ ක්රිස්ටෝපර් ලියනගේ හිටිය, බණ්ඩාර මංතිලක වගේ අය ගායකයො විදිහට වැඩ කළේ. නමුත් ඒ කිසිවකුගෙන් මට ප්රශ්නයක් ඇතිවුණේ නෑ. අනිත් එක තමයි එතන හිටිය අයට වැඩිය මගේ ගායන ස්ටයිල් එකේ සහ ගීතවල වෙනසකුත් තිබුණ. අපි ඔක්කොම ඉතාම සුහදව තමයි සන්ෆලවර් එක්ක වැඩ කළේ. මම බෑන්ඞ් ගොඩක වැඩ කරල තිබුණත් මගේම ගීත තුනක් එළිදක්වන්න ලැබෙන්නෙ 2001දි. ඒ ‘මහසයුරේ’, ‘මගේ ජීවිතේ’, ‘ආදරියේ නටන්න’ කියන ගීත. ඉතින් ඒකත් මගේ ජීවිතේ අමතක කරන්න බැරිම සිදුවීමක්.
ඔබ ඉතාමත් ජනප්රිය ඔය කාලෙ වෙන බෑන්ඞ්වලින් ආරාධනා ආවෙ නැද්ද කඩාගෙන එන්න කියල?
නෑ. මොකද සංගීත ක්ෂේත්රයේ හැමෝම ඒ වෙනකොට දැනගෙන හැටිය මගෙයි සන්ෆලවර් අතරයි තියෙන්නෙ කඩන්න බැරි බැඳීමක් කියල.
සන්ෆලවර් එක්ක ඔය තරමට තදින් තිබුණු බැඳීම කැඩෙන්නෙ කොයි විදිහටද?
ඇත්තටම මම සන්ෆලවර් එකෙන් අයින් වුණේ මගේ පෞද්ගලික ප්රශ්නයක් මත. මම සන්ෆලවර් එකෙන් අයින් වුණෙත් ආයෙත් කිසිම බෑන්ඞ් එකකට සම්බන්ධ වෙන්නෙ නෑ කියල හිතාගෙන. ගායකයෙක් විදිහට වැඩ කරන බලාපොරොත්තුවෙන් තමයි මම අයින් වුණේ.
බෑන්ඞ් එක්ක වැඩ කරන්නෙ නෑ කියල සන්ෆලවර් එකෙන් අයින් වුණු ඔබ ඒත් එක්කම ‘සනිධප’ සංගීත කණ්ඩාමේ වැඩ කරන්න පටන් ගන්නව?
මම සන්ෆලවර් එකෙන් අයින් වුණු ආරංචිය ගිහිල්ල සංගීත් මට සුමානයක් ඇතුළත කතා කළා. ඊට පස්සෙ ඔහුත් එක්ක දීර්ඝ වශයෙන් මගේ තියෙන ප්රශ්න සහ මට වැඩ කරන්න ඕනෙ විදිහ ගැන කතා කළා. එතකොට ඔහු කිව්ව මට ගැලපෙනම බෑන්ඞ් එක ‘සනිධප’ අපිත් එක්ක වැඩ කරමු කියල. ඔහුගෙන් ලැබුණු ඒ ආරාධනයත් එක්ක තමයි මම ‘සනිධප’ බෑන්ඞ් එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්නෙ.
ඔය විදිහට ‘සනිධප’ එක්ක අවුරුදු 9ක් වැඩකළ ඔබට සංගීත් ‘වායෝ’ බෑන්ඞ් එක හදද්දි කතා කළේ නැද්ද?
ඇත්තටම සංගීත්ට උවමනාවක් තිබ්බ මාව වායෝ බෑන්ඞ් එකට ගෙනියන්න. ඒත් සනිධප කඩාගෙන මායි සංගීතුයි දෙන්නම අයින් වුණාම ඇතිවෙන හිඩැස වහගන්න බැරි වෙයි කියන හේතුව මත තමයි මම සනිධප එක්ක දිගටම වැඩ කළේ.
ලංකාවෙ ජනප්රියම බෑන්ඞ් ගණනාවක වැඩ කරන ඔබ අන්තිමට නතර වෙන්නෙ තමන්ගෙම බෑන්ඞ් එකක් පටන් අරගෙන?
මගේ ඒ කාලෙ ඉඳලම හීනයක් තිබ්බ එකොස්ටික් බෑන්ඞ් එකක් පටන් ගන්න. ඉතින් සනිධප එකෙන් අයින් වෙනවත් එක්කම මම හිතුව මේක තමයි වෙලාව ඒ වැඬේ කරන්න කියල. ඒ අනුව තමයි මම වසර තුනකට කලින් ‘නොයෙල් රාජ් විත් මෙම්බර්ස්’ කියන සංගීත කණ්ඩායම පටන් ගත්තෙ. මේ වෙනකොට ඉතාම හොඳින් අපේ සංගීත කණ්ඩායමේ වැඩ කරගෙන යනවා.
ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?
මම මේ වෙලාවෙ අවධානය යොමු කරන්නෙ මගේ තනි නිර්මාණවලට වැඩිය බෑන්ඞ් එකක් විදිහට කරන නිර්මාණ ගැන. ඉතින් අපේ බෑන්ඞ් එකේ අලුත් වෙනස්ම නිර්මාණයක් ඉදිරියෙදි දැකගන්න පුළුවන් වෙයි. ඊට අමතරව සැප්තැම්බර් මාසෙ 20 වැනිදා වේයන්ගොඩ අනුර බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදි අපේ පළමුවැනි ඉන්ඩෝ කොන්ස්ට් එක කරන්නත් මේ වෙනකොට සියලුම වැඩ සංවිධානය කරලයි තියෙන්නෙ.
ඉන්දික වික්රමරත්න
මව්රට පුවත්පතේ "හාර්ට්" අතිරේකයෙන් උපුටා ගත් ලිපියකි.
