ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ උප නායකයකු වූ මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණය මිනී මැරුමක් බවට සැකකරන බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
2012 වසරේ මැයි 16 වැනි දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල දී කාරය ගිනි ගැනීමෙන් ඔහු මිය ගිය බව එකල කියවුණු අතර 2012 මැයි 17 වැනි දා ඔහුගේ සිරුර සොයා ගන්නා විට කාරය තුල දැවී අඟුරුවී තිබුණා.
නාරාහේන්පිට දී රිය අනතුරකට ලක්වූ බව කී වසීම්ගේ මුදල් පසුම්බිය සොයා ගැනුණේ කිරුලපන ප්‍රදේශයෙන්.
මරණය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව දැඩි ලෙස ප්‍රමාදයට පත්ව පසුගිය පෙබරවාරි මාසයේ දී ලබා දුන් අතර ඒ අනුව සැක සහිත කරුණු ඇති නිසා වැඩිදුර විමර්ශන කටයුතු රහස් පොලිසියට බාර දුන්නා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කඩිනමින් සිදු කිරීමට නියමිතයි.