වැඩ කරන පන්තියේ ශක්තිය හා සමඟිය පෙන්වන මැයි දිනය යෙදී ඇති හෙට (1) ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවල මැයි පෙළපාළි හා රැලි හතරක් කොළඹදී පැවැත්වෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දෙන ශ්‍රී ලනිප මැයි රැලිය පැවැත්වෙන්නේ හෙට සවස 2.30ට කොළඹ හයිඩ් පිටියේදී.
'මවුබිමට ජවයක් - සිරිලකට සවියක්' ශ්‍රී ලනිප මැයි රැලියේ තේමාවයි.
ශ්‍රී ලනිප මැයි පෙළපාළිය නෙලුම් පොකුණ රඟහල අසලින් පිටත් වී හයිඩ් පිටියට පිවිසෙයි.

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය පැවැත්වෙන්නේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 2.00ට බොරැල්ල කැම්බල් පිටියේදීයි.
පෙළපාළිය පුංචි බොරැල්ලෙන් ඇරඹීමට නියමිතයි.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාළිය දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේදී ඇරැඹෙන අතර මැයි රැලිය පැවැත්වෙන්නේ සවස 3.30ට හැව්ලොක්ටවුම බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදීයි.
'ජනතා හඬ ජනතා බලය දිනවන රතු මැයි රැලිය' ජවිපෙ මැයි දින තේමාවයි.

වමේ පක්ෂ හා එම පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති පවත්වන කම්කරු මැයි රැලිය කිරුළපන නාගරික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දේශවිමුක්ති පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලනිපය ඇතුළු වමේ වෘත්තීය සමිති සංවිධානය වන ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය මේ මැයි රැලියට සහභාගි වනවා.
