හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති අපේක්ෂක ලෙස නම් කරන ලෙස ඉල්ලමින් මහනුවරදී හෙට (06) පැවැත්වෙන රැළියට සහභාගි නොවන්නේ කිසිවෙකුට හෝ බියකින් නොවන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඊයේ රාත්‍රියේ නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පිටත්ව ගිය ප්‍රධාන අමාත්‍යවරයා එහි සිට මෙම ප්‍රකාශය සිදුකළ බව ප්‍රධාන අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළා.
ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට පෙර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා වෙත ලිපියක් යොමුකර තිබුණා.
එමඟින් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ තමන් නුගේගොඩ පැවති රැස්වීමට සහභාගිවූයේ හෘද සාක්ෂියට එකඟව බවයි. පුද්ගලයන්ට තහංචි දැමිය හැකි බවත් එහෙත් හෘද සාක්ෂියට තහංචි දැමිය නොහැකි බවත් මෙම ලිපිය මගින් දක්වා තිබුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ලක්ෂ 58 න් කෙනෙකුට එය නැරඹීමට යාම පක්ෂය විසින් තහනම් කර නොමැති බවද ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වුණා.
මේ අතර ඊයේ සවස මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක කිරීමේ සටන වැළැක්විය නොහැකි බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පක්ෂයේ අනුමැතියකින් තොරව වෙනත් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන්ට සහභාගිවීමට අවසර ලබා නොදීමට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව නිලධාරී මණ්ඩලය යටතේ පක්ෂ සංවිධාන කටයුතු යළි ආරම්භ කර ඇති බව එහි දැක්වුණා.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකත්වය ලබාදිය යුතු බවට ප්‍රකාශ කරන පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් මහනුවරදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මානෙල් බණ්ඩාර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන යසපාල කෝරලගේ, ලක්‍ෂ්මන් ගුණවර්ධන, සමන්මලී සකලසූරිය සහ ලලිත් එල්ලාවල එක්ව සිටියා.
මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ද මෙම මාධ්‍ය හමුවට අද සහභාගි වුණා. මීට අමතරව ලංකා සමසමාජ පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන උපුල් රාජිත සහ ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම පළාත් සබා මන්ත්‍රී නිමල් පියතිස්සද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.