සාරධර්ම, ගුණධර්ම යුතු අයුතුකම් වැනි දේ අද සමාජයෙන් ගිලිහී යන මොහොතක නැවතත් නූතන සමාජයට උතුම් ආදර්ශවත් පණිවුඩයක් ලබාදුන් උදාර මාතාවක් තිස්සමහාරාම නැදිගම්විල ප්‍රදේශයේදී අපට හමුවිය.
අද බොහෝ දෙමවුපියන් මහළු වියට පත්වූ විට සිටින්නේ මහළු නිවාසවලය. අපට අහන්න දකින්නටද ලැබෙන්නේ දෙමවුපියන්ට ළමයින්ගෙන් සිදුවන එවැනි අකටයුතුකම්ය. එසේ පවතින යුගයක මුළු රටටම උදාර ආදර්ශයක් මෙම මාතාව විසින් ලබා දෙන්නීය.
අතීතයේ දරුවන් දෙමාපියන් කෙරෙහි දැක්වූ ආදරයත් භක්තියත් වර්තමානය වන විට එය ක්‍රමයෙන් සමාජයෙන් ගිලිහී යන ආකාරයද මෙම මාතාවගේ ජීවිත කතාව තුළදී අපට අහන්නට ලැබුණි. පසුගියදා අප තිස්සමහාරාම නැදිගම්විල පිහිටි කුඩා ඉඩම් ප්‍රමාණයක ඉදි කරන ලද නිවසක තනිවම ජීවිකාව ගෙනියන ඇය හමුවීමට ගියෙමු. අපි එහි යන විටදී ඇය නිවසෙහි මිදුලේ බිම වාඩිවී ගල් කැටයක් අතට ගෙන මොනවාදෝ තලමින් සිටියාය. කුඩා නිවසක ජීවිකාව ගෙන යන ඇයට කිසිවකු පැමිණි විට හිඳ ගැනීමට පිළිගැන්වීමට පුටුවක්වත් එහි නොවීය. කෙසේ වෙතත් අපි එහි ගියේ තතු විමසීමට බව පැවසීමෙන් අනතුරුව ඇය විටින් විට ඇය ගැන මෙසේ විස්තර කළාය.
නමින් ඇය මද්දුම ලියනගේ පීදරහාමි වූවාය. මේ වන විට ඇය 74 වන වියේ පසුවන්නීය. දියණියක් හා පුතකු සිටින ඇයට වැඩිමල් පුතු ගොවිතැන් කර ජීවත් වන අතර, ඔහු 45 වියෙහි පසුවෙයි. දියණියට වයස අවුරුදු 40 ක් වන අතර ඇය විවාහ වී කොළඹ ප්‍රදේහයේ ජීවත් වන්නීය. දරුවන් දෙදෙනෙකුත් සිටියද අද ඇය ජීවත් වන්නේ තනිවමය. තමාගේ දියණිය කොළඹ ගිය පසු මෙතෙක් කිසිම දිනක ඇය බැලීමට පැමිණ නැති බව ඇය පැවසුවාය. පුතාද පසුගිය කාලය තුළදී ඇය සමග අමනාපයෙන් සිට ඇත.
තම පුතු මෙලෙස ඇය සමග අමනාපයෙන් සිටීමට හේතුව අප ඇයගෙන් විමසූ විට ඇය මෙසේ කියා සිටියාය.
‘‘මගේ තාත්තා මද්දුම ලියනගේ ජේසින්. මම පුංචි කාලයේ තමයි තාත්තා නැතිවෙලා තිබුණේ. මම තාත්තව දැකලවත් නෑ. තාත්තා නැතිවුණ දවසේ ඉඳලා මගේ අම්මා අබේවික්‍රමසිංහ ආරච්චිගේ හීන්හාමි, මාව හදා වඩාගන්න ගොඩක් දුක් වින්ඳා. මට කිසිම දුකක් දීලා නෑ. අම්මත් නැතිවුණාට පස්සේ මම අම්මා වෙනුවෙන් දන් පින්කම් කෙරුවා. එතකොට මාත් එක්ක මගේ මහත්තයා ජයංහාමි, එයත් හිටියා. 1961 දී එයත් නැතිඋණාට පස්සෙදි මගේ අම්මව තාත්තව සිහි කරලා පින්කම් කරන්න මට පුළුවන්කමක් තිබ්බේ නෑ. මම ගොඩක් ඒ ගැන හිතින් දුක් වින්ඳා. කල්පනා කළා. මට කියලා ඉතිරිවෙලා තිබුණේ පරම්පරාවෙන් මට උරුමවුණු මේ ඉඩම විතරයි. මේ ඉඩමේ අක්කර 02 ක් තියෙනවා. එයින් අක්කර එකයි කාලක් විතර පුතාට දුන්නා. ඉතිරි ටිකෙන් අක්කර බාගයක් අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න කියලා හිතාගෙන ගමට වතුර දෙන්න ජල සම්පාදනයට දුන්නා. එහෙම දුන්නා කියලා තමයි පුතා මාත් එක්ක තරහ වෙලා හිටියේ. ඒත් දැන් එයාට තේරිලාද කොහෙද ඉඳලා හිටලා ඇවිත් මාව බලල යනවා’’
ඉඩම් දේපළවලට මිනිසුන් තිරිසනුන් ලෙස මිනීමරා ගන්නා යුගයක ජීවතුන් අතර නොසිටින දෙමව්පියන් වෙනුවෙන් දියණියක් කළ මේ උතුම් සද්කාර්යය පිළිබඳව අපට තවදුරටත් දැන ගැනීමේ වුවමනාවක් ඇතිවිය. මන්ද තම දරුවන් ජීවතුන් අතර සිටින මෑණියන් දේපළ වෙනුවෙන් අත්හළද, එම දරුවන්ගේම මෑණියන් ජීවතුන් අතර නොසිටින සිය දෙමවුපියන් වෙනුවෙන් කළ මේ උතුම් සද්කාර්යය මුලූ මහත් සමාජයටම විශාල ආදර්ශයක් වන නිසාය. අප ඇයගෙන් තවත් ප්‍රශ්න කිහිපයක් ඇසුවෙමු. ඇය ඊට මෙලෙස පිළිතුරු දුන්නාය.
‘‘අම්මගේ පුතා මේ සද්කාර්යය කරනවට විරුද්ධ වෙද්දී ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුණේ?
මේ ලොව්තුරු බුදුපියාණන් වහන්සේ සොයාගත් සියළු ධර්මය මුලූ ලෝකයටම බෙදලා දුන්නා. තියාගත්තේ නෑ. කව්රු මොනව කිව්වත් මොනව උණත් බුදු පුතේ මේ දේ මම කළේ මාව අමාරුවෙන් දුක් විදලා හැ¥ වැඩූ මගේ දෙමව්පියන්ට පින් දෙන්න මට පුලූවන් කමක් තිබුණේ නැති නිසා මට ඒ ගොල්ලොන්ට පින් දෙන්න පුළුවන් එකම ක්‍රමය මේක නිසා ඒ ගොල්ලන්ට පින් සිද්ධ වෙන්න කියලා හිතාගෙන තමයි මේ දේ මම කළේ.
දැන් දරුවනුත් අම්ම ගැන හොයලා බලන්නේ නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ?
මම දැන්නම් පුතේ වැඩිකල් ජීවත් වෙන්නේ නෑ. මට එකම ආසාවයි තියෙන්නේ මට මේ ගේ හදලා දුන්නේ මේ ජල සම්පාදන මණ්ඩලයේ අය. මම මේකට වෙලා ජීවත් වෙනවා. මම කොහේවත් යන්නේ නෑ. අනුන්ගේ ඕපදූපා මම අහන්නේ නෑ. මම පෝයට සිල් ගන්නෙත් ගෙදර ඉඳගෙන රේඩියෝ එක අහගෙන. ඉඳලා හිටලා පන්සලට ගිහිල්ලා එනවා. මට ජීවත් වෙන්න මහජන ආධාරවලින් ඉස්සර රුපියල් දාහක් ලැබුණා, දැන් ඒක වැඩි කරලා තව දාහක් වැඩිපුර ලැබෙනවා. ජල සම්පාදන මණ්ඩලයෙනුත් මට මාසෙකට රුපියල් දාහක් දීලා යනවා. ඒකෙන් තමයි මම ජීවත් වෙන්නේ. මට වතුර ටික ජල සම්පාදන එකෙන් දීලා තියෙනවා. ඒ ගොල්ලෝ කරන්ට් එකත් දීලා තියෙනවා.
අම්මා ගැන හොයලා බලන්න දරුවන් එන්නෙම නැද්ද?
මගේ පුතා ඉඳලා හිටලා ඇවිත් මාව බලනවා. ඒ ඇරෙන්න වෙන කවුරුවත් එන්නේ නෑ. පුතා ඉස්සර මාත් එක්ක තරහ වෙලා හිටියට දැන් එහෙම නෑ. ඒ ගොල්ලොත් බොහොම අමාරුවෙන් ගොවිතැන් බත් කරලා තමයි ජීවත් වෙන්නේ.
මේ කරපු පරිත්‍යාගයට ගැන අම්මට මොනවද හිතෙන්නේ?
අනේ පුතේ ! මගේ අම්මා මට කරපු දේවල් වලට ඒ ගොල්ලොන්ට පින් දෙන්න මේ කරපු දේත් මදි. මේ ගැන හම්බන්තොට මහ දිසාපතිතුමාටත් ආරංචි වෙලා එතුමා කියලා තිබුණා ඉස්කෝලේ ළමයින්ටත් ආදර්ශයක් වෙන්න කාටත් පේන්න ජල සම්පාදන මණ්ලයේ මේ කරපු පරිත්‍යාගය ගැන බෝඩ් එකකුත් දාන්න කියලා. එහෙම බෝඞ් එකකුත් දැන් ඒකේ දාල තියෙනවා පුතාලට බලන්න පුලූවන්. කොහොම උණත් මම පතන්නේ මේ හැම පිනක්ම මගේ අම්මටයි තාත්තටයි ඇතුළු මියගිය සියලූ දෙනාටමත් ලැබිලා ඒ හැමෝම නිවන් දකින්න ලැබෙන්න කියලයි.
අපි අවසාන වශයෙන් එම මාතාවගෙන් මෙසේ ඇසුවෙමු. අම්මා මේ පානීය ජල ව්‍යාපෘතියට ලබා දුන් ඉඩම කොච්චර මුදල් වටිනවද? අම්මගේ හිතේ තියෙන ආසාවන් මොනවද?
මේ ඉඩම් කෑල්ල පුතේ රුපියල් කෝටියක් විතර වටිනවා කියලා තමයි කිව්වේ. මගේ කිසිම දේකට ආසාවක් නෑ. මම සල්ලි වලින් මොනව කරන්නද? මට තියෙන එකම ආසාව තමයි මම දැන් වයස නිසා මට දැන් හරියට ඇවිදින්නවත් බෑ. ඒ නිසා මට ජීවත් වෙන කාලෙම මට වැඳ පුදා ගන්න බුදු මැදුරක් මේ ගෙදර හදලා දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ එකම ආසාව.
ඇය මේ කතාව කියා අවසානයේ කවියක්ද කියන්නට විය.
නයනේ ගඟු සිතින් පින්කම් කර බැති නයන
නයනේ ගඟු කසුම් මම පින්කම් කරනෙමි නයන
නයනේ සඟු ළඟින් මම යන්නෙමි නයන
නයනේ සිය උතුම් මම දකිනෙමි නයන
දන් දුන් සිතින් පින්කම් කරමි තුටින්
දන් දුන් කසුම් යන්නම් කරම් තුටින්
සන්සුන් සිතින් යන්නෙමි මම සඟුන් ළඟින්
සන්සුන් සිතින් මම නිවන් දකිම්
පසුව අප මේ සම්බන්ධව නැදිගම්විල විජයපුර ග්‍රාමීය පානීය ජල ව්‍යාපෘතියේ භාණ්ඩාගාරික පියවතී මහත්මිය කළ විමසීමකදී ඇය මෙසේ කියා සිටියාය. ‘‘පසුගිය කාලයේදී මේ නැදිගම්විල හා විජයපුර ග්‍රාම නිලධාරී වසම් දෙකේ ජනතාව පානීය ජලය නොමැතිව ගොඩක් දුක් වින්ඳා.
අපිට ජල ව්‍යාපෘතියක් තිබුණත් ඒක ඉදි කරන්න ඉඩමක් තිබුණේ නෑ. ඒ අවස්ථාවේදී තමයි මේ අම්මා, අම්මට අයිති මුළු ඉඩමෙන් අක්කර බාගයක පමණ භූමි ප්‍රමාණයක් මේ ජල ව්‍යාපෘතිය ඉදි කිරීමට අම්මගෙන් මියගිය දෙමව්පියන්ට පින් පිණිස ලබා දුන්නේ. ඒත් මේ ඉඩම ලබා දුන් දවස්වල ඒ අම්මගේ පුතාගෙන් ගොඩක් විරෝධතා අපටත් ඒ අම්මටත් එල්ල වුණා. ඒත් ඒ අම්මා මේ ඉඩම කොහොමහරි අපට ලබා දුන්නා.
අද වෙනකොට මේ ජල ව්‍යාපෘතියෙන් නැදිගම්විල හා විජයපුර ග්‍රාම නිලධාරී වසම් දෙකේ පවුල් 580 කට වැඩි පිරිසක් පානීය ජලය ලබා ගන්නවා. ඉතින් මේ අම්මා කළේ ලොකු පින්කමක්. පිපාසයට වතුර ටිකක් ලැබෙනවා නම් ඒක කොයිතරම් ලොකු පිනක්ද? මේ ඉඩම ලැබුණට පස්සේ අපි ඒ අම්මට ව්‍යාපෘතියෙන් ආධාර එකතු කරලා නිවසකුත් හදලා දුන්නා. වතුර, ලයිට් දෙකම නොමිලේ ලබා දෙනවා. ඒ වගේම හැම මාසෙකම රුපියල් 1000 ක් ආධාරයක් විදියට ඒ අම්මට ලබා දෙනවා.’’
‘‘දහසක් පුතුන් ලැදුවත් නිසරු - ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු’’
අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර
.JPG)