ජීවිතය කියන දේ කොයි මොහොතක කොතනදී අහිමි වෙයිද කියලා අපට හරියටම කියන්න බැහැ. අපගේ නොසැලකිලිමත්කම නිසාත් වටිනා ජීවිත නැතිවෙන්න ගතවෙන්නේ එක් නිමේෂයක් පමණයි.එවැනිම වූ වටිනා ජීවිතයක් අකාලයේ අහිමි වුණු පුවතක් මීටියාගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා.
ඒ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුගෙන් එක් සහෝදරයකට අත් වූ ඛේදනීය ඉරණමයි.ඒ ඛේදනීය ඉරණම ජාතික පුවතක මෙලෙස වාර්තා කර තිබුණා.
ඇන්ටනාවට ලීයක් කපන්න මම කැලේට යන විට අයියා ගල් වළේ නාන්න කලිසමක් අරන් ආවා. මම පොඩි ගල් වළේ නාමු කිව්වාම, පොඩි වළේ නාලා ආතල් එක්‌ක නැහැ කියල ලොකු ගල්වළේ නාමු කිව්වා. පස්‌සේ අයියා ගල්වල වටේ යනවිට පස් කණ්‌ඩිය කඩාගෙන අයියා ගල්වළට වැටුණා.
අනාරක්‍ෂිත ගල් වළක දිය නෑමට ගොස් මරුමුවට පත් 16 හැවිරිදි පාසල් සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් බළපිටිය මූලික රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් මියගිය අයගේ බාල සොහොයුරු වන ඩබ්ලිව්. ජී. ප්‍රමෝද් කුමාර (12) සිසුවා එසේ පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ මෙවර අ.පොස. (සා. පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි මීටියාගොඩ, කිරිඳිවැල පදිංචි ඩබ්ලිව්. ජී. රුවන් චින්තක (16) නමැති සිසුවාය. ඔහු කහව, වෙහෙරගොඩ විජයබා විදුහලේ 11 වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටියේය.
මීටියාගොඩ හදිසි මරණ පරීක්‍ෂක එච්. ඩබ්ලිව්. ගුණසීලී මහත්මිය විසින් බළපිටිය මූලික රෝහලේදී පවත්වන ලද හදිසි මරණ පරීක්‍ෂණය ඉදිරියේ තවදුරටත් සාක්‍ෂි දුන් ඩබ්ලිව්. ජී. ප්‍රමෝද් කුමාර (12) සිසුවා මෙසේද කීය.
ලොකු ගල්වළ ගැඹුරු නිසා පොඩි ගල් වළේ නාමු කියල මම කිව්වා. නමුත් ඒක අයියා ඇහුවේ නැහැ. ලොකු ගල් වළේ නාන්න අයියා ගල්වළ වටේ යනවිට පස් කණ්‌ඩිය කඩාගෙන වළට වැටුණා. දියේ ගිලුණු අයියා උඩට එනවිට ඇන්ටනාවට කපාගෙන ආ ලීය දුන්නත් අයියාට අල්ලා ගන්න බැරි වුණා. දෙවැනි සැරේ උඩට ඇවිත් අතවනා ආයේ යටට ගියා. ඊළඟට උඩට ආවේ කකුල් දෙක විතරයි. පස්‌සේ මම ගෙදර ගිහින් අයියා ගල් වළේ ගිලුණා කියල අම්මට කිව්වා.
මියගිය අයගේ පියා වන සරත් වීරප්පෙරුම (65) සාක්‍ෂි දෙමින් මෙසේ කීය.
මට දරුවෝ 05 දෙනෙක් ඉන්නවා. ගල් වළේ දිය නෑමට ගොස් මියගියේ හතරවැනි දරුවයි. සිද්ධිය වූ දවසේ මම කුරුඳු තැලීමට ගොස් සිටියා. මගේ මිතුරෙක් ඇවිත් කිව්වා පුතා ගල් වළේ දිය නෑමට ගොස් ගිලිලා කියල. ගමේ තරුණයන් කීපදෙනෙක් ගල් වළට බැස සෙව්වත් පුතා සොයා ගන්න බැරිවුණා. පසුව බැකෝ යන්ත්‍රයක් ගෙනැවිත් ගල් වළේ පස් කණ්‌ඩිය කඩා වතුර ඉවත් කිරීමෙන් පසුව පුතා සොයා ගත්තා. එවේලෙම පුතා බළපිටිය මූලික රෝහලට ගෙන ගියත් මියගොස් සිටියා.
බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් සිල්වා මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර මීටියාගොඩ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නෙවිල් මහතා සාක්‍ෂි මෙහෙයවීය. හෙළි වූ සාක්‍ෂි හා වෛද්‍ය වාර්තාව අනුව දියේ ගිලී හුස්‌ම හිරවීමෙන් මරණය සිදුව තිබෙන බව හදිසි මරණ පරීක්‍ෂකවරිය තීරණය කළාය.