පසුගිය ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු යකාට බිලි වූ ජීවිත සංඛ්‍යාව 49ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙවැනි බිහිසුණු වටපිටාවක, කායික රෝග විශේඥ වෛද්‍ය නිල්වලා ජයසිංහ මහත්මිය විසින් විශේෂ අනාවරණයක් සිදු කරමින් ජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කරනවා.
ඇය පෙන්වා දෙන්නේ ඇතැම් රෝගීන් ඩෙංගු රෝගය වැළඳුණු පසු විවිධ ශාකමය පාන වර්ග (පැපොල් කොළ යුෂ වැනි දෑ) පානය කිරීමට පෙළඹී සිටින බවයි. මේ හේතුවෙන් රෝගය නිවැරදිව නිශ්චය කර ගැනීමට නොහැකි වනවා සේම, රෝගියාට නියමිත වේලාවට අවශ්‍ය කරන නිසි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවත්ව ලබා දීමට නොහැකි වී රෝගීන් දැඩි අසීරුතාවයට පත්වන බවයි ඇය පවසන්නේ.
මේ අතර, ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් වරක් දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා තිබෙනවා.
වෛද්‍යවරුන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ උණ වැළඳුණු වහාම නොසැලකිලිමත් ලෙස විවිධ අත්බෙහෙත් හෝ පාන වර්ග නොබී, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී නියමිත පරීක්ෂණ සිදු කරගන්නා ලෙසයි.