සැමියා විසින් අසල්වැසි නිවසකින් සොරකම් කර තිබූ ජංගම දුරකථනයක්, බිරිඳ විසින් එම නිවසට නැවත ලබාදීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන්, සැමියා විසින් බිරිඳගේ අත් දෙකම පිහියෙන් කපා බරපතළ තුවාල සිදු කළ පුවතක් තඹාල, පුලස්තිපුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙම සිදුවීම පෙරේදා (08 දා) රාත්‍රී සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ 35 හැවිරිදි තිදරු මවක් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව පුලස්තිපුර පොලිසිය පවසනවා.
පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ සැකකාර සැමියා, අසල්වැසි නිවසකින් ජංගම දුරකථනයක් සොරකම් කර විකිණීමට උත්සාහ දරා ඇති අතර ඒ බව දැනගත් බිරිඳ එම දුරකථනය අදාළ නිවසට නැවත ලබාදී තිබෙනවා.
ඒ හේතුවෙන් දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳගේ අත් දෙකම පිහියෙන් කපා කොටා දමා තිබුණා.
ප්‍රහාරයට යොදාගත් පිහිය පොලිස් භාරයට ගෙන ඇති අතර 35 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊයේ (09 දා) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තවද මෙම සැකකරු තවත් සොරකම් කිහිපයකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.