හැබැයි ඉතින් අත්‍යවශ්‍ය වැඩකට එළියට බහින්න ඉන්න අයට නම් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ඔන්න කලින්ම නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ.
අද දවසේ පැති කිහිපයකටම මිලිමීටර් 100 ඉක්මවපු තද වැසි එක්ක පිස්සු හැදෙන සුළඟක් එන්න පුළුවන්ලු!
කාලගුණ ආරංචි මාර්ග කියන විදිහට මේ වැසි තත්ත්වය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය පැත්තට විටින් විට කඩා හැලෙන්න නියමිතයි.
ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය කියන ප්‍රදේශවල ඇතැම් තැන්වලට මිලිමීටර් 100 ක විතර මහා වැසි ඇද හැලෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලයි ආරංචිය.
ඔය අතරේ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඉන්න අයට නම් පොඩි වැසි ස්වල්පයකින් බේරෙන්න පුළුවන් කියලා තමා කියන්නේ. හැබැයි ඉතින් හුළඟෙන් නම් බේරෙන්න හම්බවෙන්නේ නැහැ වගේ!
වැස්ස විතරක් නෙවෙයි, අද හුළඟත් එක්ක සෙල්ලම් බෑ! මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු-මැද පළාත් වගේම හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ අයට විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර සැර සුළඟකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ලංකාවේ අනිත් පළාත්වලටත් පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඉතින් අද දවසේ කොහේ හරි යනවා නම්, පාරේ තොටේ යනකොට, ගස් යට වාහන නවත්වනකොට සහ අකුණු අනතුරුවලින් බේරෙන්න ටිකක් කල්පනාකාරී වෙන්න කියලා අපි ඔයාලට මතක් කරනවා!