වසර 54කට පසු මිනිසුන් සිව්දෙනෙකු රැගෙන සඳ බලා පියඹා යන අමෙරිකාවේ නාසා (NASA) ආයතනයේ "ආටෙමිස් II" (Artemis II) මෙහෙයුම පිටුපස සිටින ප්‍රධාන ඉංජිනේරුවරයෙකු ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන ජනක විජේසිංහ ලෝකයේම අවධානය දිනාගෙන සිටින තැනැත්තෙක්.
ගුවන්යානා හා අභ්‍යවකාශ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන ඒ මොහු, මෙම ඓතිහාසික රොකට් මෙහෙයුමේ මෙහෙයුම් කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙනවා.
ගම්පහ ප්‍රදේශයේ උපත ලද ජනක විජේසිංහ සිය මූලික අධ්‍යාපනය ඕමානයේ ශ්‍රී ලංකා පාසලකින් ලබා ඇති අතර පසුව උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
වයස අවුරුදු නවයේ සිටම අභ්‍යවකාශ ගවේෂණය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ ඔහු, අමෙරිකාවේ අභ්‍යවකාශ වැඩසටහන්වලට සම්බන්ධවීමේ විශාල සිහිනයක් දරා සිටියා.
දැනට අමෙරිකාවේ පදිංචිව සිටින ඔහු සිය බිරිඳ සහ සිව් හැවිරිදි දියණිය සමඟ කාලය ගත කරනවා. සිය රැකියාව අතිශය අභියෝගාත්මක වුවද, එය මහත් ආශාවකින් සිදු කරන බැවින් තමන් ඉමහත් සතුටට පත්වන බව ඔහු පවසන්නේ.
සිය වෘත්තීය ජීවිතය ඕස්ට්‍රේලියාවේ බෝයිං (Boeing) සමාගමෙන් ආරම්භ කළ ඔහු, පසුව අමෙරිකාවේ සීඇටල් සහ දකුණු කැරොලිනා ප්‍රාන්තවල පිහිටි බෝයිං ප්‍රධාන ශාඛාවල සේවය කළ බවයි වාර්තා වෙන්නේ.
2020 වසරේදී බෝයිං සමාගම නාසා ආයතනය වෙත තාක්ෂණික සහාය ලබාදීමත් සමඟ ඔහුට ‘ආර්ටෙමිස්’ වැඩසටහනට එක්වීමට අවස්ථාව හිමිවුණා. මේ වන විට ඔහු වසර 6ක පමණ කාලයක සිට නාසා ආයතනය සමඟ සමීපව කටයුතු කරනවා.
ජනක විජේසිංහ ‘ආර්ටෙමිස් II’ මෙහෙයුම සඳහා භාවිතා කරන SLS (Space Launch System) රොකට්ටුව නිර්මාණය කළ ඉංජිනේරු කණ්ඩායමේ නායකත්වයක් දැරූ අයෙක්. විශේෂයෙන්ම රොකට්ටුවේ ප්‍රධානතම කොටස වන ‘Core Stage’ (මධ්‍යම අවධිය) නිර්මාණය කිරීමේදී ඔහුගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
මෙම මෙහෙයුමට එක්වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ජෙරමි හැන්සන් සහ අභ්‍යවකාශයේ වැඩිම කාලයක් රැඳී සිටීමේ වාර්තාවට හිමිකම් කියන ක්‍රිස්ටිනා කොක් යන ගගනගාමීන් සිව්දෙනා මෙහෙයුමට පෙර ඉංජිනේරු කණ්ඩායම හමුවී තම කෘතඥතාව පළ කර ඇති අතර එහිදී විජේසිංහ මහතාට ඔවුන් සමඟ සමීපව සුහද කතාබහක නිරත වීමටද අවස්ථාව හිමිවී තිබුණා.
