ඒ සතුට විඳින්න ඇත්තටම බාල මහලු කාටවත් සීමාවක් නැහැ. අලුත් අවුරුද්දට අපි සූදානම් වෙන්න වෙන ඔබ මෙන්න මේ කාරණා ගැන නිකමටවත් හිතුවාද කියලා බලන්නකෝ..
ඇඳුම් පැළඳුම් සහ තෑගි බෝග මිලදී ගැනීම..
බොහෝ දෙනා අවුරුදු මිලදී ගැනීම් අවසාන සතියට කල් තබනවා. නමුත් එයින් සිදුවන අවාසි රැසක්. ඉහළ මිල අවසාන මොහොතේ ඇතිවන දැවැන්ත ඉල්ලුම නිසා සාමාන්‍ය මිලට වඩා වැඩි මිලක් ගෙවීමට ඔබට සිදු විය හැකියි.
හොඳම සහ ලස්සනම ඇඳුම් පැළඳුම් කලින්ම අලෙවි වී අවසන් වන බැවින්, ඔබට ඉතිරි වන දෙයින් සෑහීමකට පත්වීමට සිදු වෙනවා. හදිසියේ ගත් ඇඳුමක ප්‍රමාණයේ හෝ නිමාවේ ගැටලුවක් වුවහොත්, අවුරුදු නිවාඩුව නිසා ආයතන වසා තැබීමෙන් එය මාරු කරගැනීමට අවස්ථාවක් නැති වෙනවා.
අවුරුදු කැවිලි පෙවිලි සඳහා අමුද්‍රව්‍ය ගැනීම.
අලුත් අවුරුදු මේසය කැවුම්, කොකිස්, ආස්මී ආදී රසකැවිලිවලින් පිරී යා යුතුයි. මේවා සෑදීමට අවශ්‍ය තෙල් සහ පැණි අවුරුදු කිට්ටු වන විට මේවායේ මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට හෝ වෙළඳපොලේ හිඟයක් ඇති වීමට ඉඩ තියනවා. කැවිලි සෑදීමට අවශ්‍ය සහල්, පොල් පැණි, තෙල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය දැන් සිටම නිවසේ ගබඩා කර ගැනීම ඔබේ සැලසුමට පහසුවක්.
වස විසෙන් තොරව කෙසෙල්කැන් ඉදවා ගැනීම.
අවුරුදු මේසයට කෙසෙල් ගෙඩියක් නැතුවම බැහැ. වර්තමානයේ වෙළඳපොලේ ඇති "කාබයිට්" දැමූ කෙසෙල් වෙනුවට අපේ පැරණි ක්‍රමයට දුම් ගසා නිවසේදීම කෙසෙල්කැන් ඉදවා ගත හැකියි.
අවුරුදු මේසයට කෙසල්කැන් අනිවාර්යයි. ඒ වගේම කෙසෙල් බොහොම ගුණ පළතුරක්. නමුත් අද කෙසෙල් ඉදවීමට යොදා ගන්නා කාබයිට් නිසා කෙසෙල් ගැනත් තියෙන්නේ බියක්. ඒ නිසා නිවසේදීම කෙහෙල්කැන් ඉදවා ගන්නත් පුලුවනි. එදා මේ කෙසෙල්කැන් ඉදවීම බොහොම විනෝදයක් වුණා.
ඒ වෙනුවෙන් දුම් ගැසීම පුංචි අයගේ කටයුත්තක්. එයින් විශාල විනෝදයකුත් ඔවුන්ට ලැබුණා. කෙසෙල්කැනේ ප්‍රමාණයට වලක් සකස් කරලා ඒ වලේ අඩියටම පිදුරු දානවා. දැන් කෙසෙල්කැන මේ වලට බහා එහි මතුපිටට කෝටු වලින් කොටු කොටු වැටෙන සේ කෙසෙල්කැනට පස් නොවැටෙන විදිහට තබනවා.
දැන් මේ කෝටු මතට පස් දමන අතර මැදින් මුට්ටියක හිලක් සාදා එයවල මැදින් තබනවා. පිදුරු ආදිය දමා මේ මුට්ටියට දුම් පත්තු කරල ඒවා කෙසෙල්කැන ඇති වලට යන සේ පිඹිනවා. වලෙන් පිටට දුම් එන්නේ නැති විදිහට සකස් කරන්න ඕන. දුම් එන තැන් තිබෙනවා නම් ඒවා නැවත පස් දමමින් වසනවා. මේ විදිහට උදේ හවස දුම් පිඹලා කෙසෙල්කැන ගොඩ ගනිද්දී කහපාට වෙලා. එතැන් පටන් කෙසෙල් කැන ඉක්මනින්ම ඉදෙනවා.
මව්පියන් සහ වැඩිහිටියන් බැලීමට යාම.
අවුරුද්ද යනු යුතුකම් ඉටු කරන කාලයයි. අවුරුදු දිනවල පවතින අධික වාහන තදබදය සහ වැඩ රාජකාරි මැද දෙමාපියන් බැලීමට යාම මගහැරීමට ඉඩ තිබෙනවා.
හැකි නම් මේ සති අන්තවලම දුර බැහැර සිටින දෙමාපියන් සහ වැඩිහිටියන් බැහැදැක, ඔවුන්ට අවශ්‍ය තෑගි බෝග දී ආශිර්වාද ලබා ගන්න. එයින් අවුරුදු දිනවල පවුලේ අය සමඟ නිවසේ රැඳී සිටීමට ඔබට වැඩි කාලයක් ලැබෙනු ඇත.
අවුරුද්ද යනු හුදෙක් චාරිත්‍ර ඉටු කිරීමක් පමණක් නොවේ. එය පවුලේ සමගිය සහ මානසික සුවය උදෙසා පවත්වන්නකි. කලින් සූදානම් වීමෙන් ඔබ ලබන මානසික නිදහස, අවුරුදු උදාව වඩාත් අර්ථවත් ලෙස සමරන්නට ඔබට ශක්තියක් වනු ඇත.