සතියට දින 5ක්ම පැවැත්වෙන සායනයේදී රෝගීන්ට අවශ්‍ය බෙහෙත් පැකට් සකස් කරන්නේ මොහුයි. ඊට අමතරව OPD අංශයට අවශ්‍ය බෙහෙත් අඩුපාඩු සොයා බලමින් ඔහු කරන කැපවීම ඇත්තටම අගය කළ යුතුයි.
සායනික රෝගීන්ට මාස දෙකකට සෑහෙන විශාල බෙහෙත් ප්‍රමාණයක් ලබා දෙනවා. වර්ග 30කට අධික බෙහෙත් පෙති ප්‍රමාණයක් එකින් එක කොළවල ඔතනවා වෙනුවට, රෝගීන්ගේ කාලය ඉතිරි කරමින් ඒවා පොලිතීන් මලු තුළ සීල් කර පිළිවෙළට සකස් කර දෙන්නේ ශානුකයි. දිනකට රෝගීන් 150ක් පමණ පැමිණෙන මෙම කාර්යබහුල ස්ථානයේ, ඔහු කිසිම දිනක අසතුටින් තම කාර්යය කරන්නේ නැහැ.
"හරි මිස්" කියන වචනය හැර වෙනත් මැසිවිල්ලක් ඔහුගේ මුවින් පිටවන්නේ නැහැ. ඕනෑම වර්ගයක බෙහෙත් පැකට් ප්‍රමාණයක් ඉල්ලුවත් ඔහු එය ඉතාම සතුටින් කර දෙන්නේ මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙනයි.
ශානුක මේ කරන සේවය නිසා සායනවල පෝලිමේ ඉන්න වයසක අම්මලා තාත්තලාගේ කාලය ඉතිරි වෙනවා. බඩගින්නේ, පිපාසයෙන් පෝලිමේ රඳන ඒ අහිංසක මිනිසුන්ගේ නිහඬ ආශිර්වාදය ශානුකට නිතැතින්ම හිමිවන බව නොඅනුමානයි.
තනතුර මොකක් වුණත්, ඒ තනතුරෙන් කරන සේවාව කොතරම් උදාරද යන්නට ශානුක අපූරු උදාහරණයක්. ඔහු ලබන ඒ සොච්චම් වැටුපට ඔහු සතයකවත් ණය නැහැ.
"ශානූ... ඔයා කරන මේ දේ හරියටම කරනවා. තනතුර නෙවෙයි වැදගත් වෙන්නේ කරන සේවයයි. මෙවැනි ආදරණීය දරුවන් අගයන්න අපිට ලෝබ වෙන්න බැහැ..."