සැහැල්ලු ගුවන් යානයක් නිසා ඇතිව තිබෙන මේ කලබලය මොකක්ද කියලා දන්නවාද..?
ජෝර්ජියා ප්‍රාන්තයේ ගේන්ස්විල් නගරයේ අතිශය කාර්යබහුල මාර්ගයක් මතට කුඩා පුහුණු ගුවන් යානයක් හදිසියේ ගොඩබෑමට උත්සාහ කිරීමේදී වාහන කිහිපයක ගැටී අනතුරක් සිදුව ඇති බව ප්‍රාදේශීය පොලිසිය වාර්තා කරනවා.
මෙම සිදුවීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.
තනි එන්ජිමක් සහිත මෙම පුහුණු ගුවන් යානය ගුවන් තොටුපළක් වෙත පියාසර කිරීමට තරම් ප්‍රමාණවත් බලයක් නොමැති බව වටහාගත් ගුවන් නියමුවා, යානය මාර්ගය මතට ගොඩබෑමට තීරණය කර තිබුණා.
යානයේ පියාපත් මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන කිහිපයක ගැටී ඇති අතර, ගැටීමත් සමඟ යානයේ ඉන්ධන ටැංකිය ගැලවී ගොස් අසල තිබූ SUV වර්ගයේ රථයක වැදී තිබෙනවා.
පොලිස් වාර්තා සඳහන් කරන්නේ වාහනවල සිටි පුද්ගලයන්ට සහ ගුවන් නියමුවාට බරපතල තුවාල සිදුව නොමැති බවයි. කෙසේ වෙතත්, මෙම අනතුර හේතුවෙන් අදාළ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.