මෙහෙම කරන්න මොන වගේ අරමුණක් නිසාද කියන එක ඔබ දන්නවාද..? බලන්න මේ කියන්නේ අන්න ඒ ගැන මොන වගේ කතාවක්ද කියලා..
අපි දිනපතා රාජකාරි වැඩවලට හෝ වෙනත් ගමන් බිමන් සඳහා පාරේ යන එන වෙලාවක, හදිස්සියේම පොලිස් නිලධාරියෙක් අපිව නවත්තලා "කෝ බලන්න ඔයාගේ අයිඩෙන්ටි එක (ID Card)" කියලා අහන අවස්ථා ඕනෑ තරම් තියෙනවා.
සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් "මම වරදක් කරලා නැහැ නේ, ඇයි මම ID එක පෙන්නන්නේ?" කියලා. නමුත් ඇත්තටම නීතිය පැත්තෙන් බැලුවොත් කතාව වෙනස්.
සරලවම කිව්වොත්, ඔබ පාරේ ගමන් කරන ඕනෑම වෙලාවක පොලිස් නිලධාරියෙක් ඔබේ ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටියොත්, එය ඉදිරිපත් කිරීමට ඔබ නීතියෙන් බැඳී සිටිනවා.
මෙය හිතුමතේට කරන දෙයක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ පවතින "ජාතික හැඳුනුම්පත් පනත" සහ "පොලිස් ආඥා පනත" යන නීතිමය රාමු වලට අනුවයි මේ බලතල පොලිසියට ලැබී තිබෙන්නේ. ඒ නිසා පොලිස් නිලධාරියෙක් ඔබේ අනන්‍යතාවය තහවුරු කරගන්න හැඳුනුම්පත ඉල්ලන අවස්ථාවක, එය ප්‍රතික්ෂේප කරන්න අපිට අයිතියක් නැහැ.
දැන් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්, "අනේ මට ID එක ගෙදර දාලා ආවා, දැන් මොකද වෙන්නේ?" කියලා. යම් හෙයකින් ඔබ ළඟ ජාතික හැඳුනුම්පත නැත්නම්, ඔබේ අනන්‍යතාවය ඔප්පු කළ හැකි වෙනත් වලංගු ලියවිල්ලක් (උදාහරණයක් ලෙස රියදුරු බලපත්‍රය හෝ විදෙස් ගමන් බලපත්‍රය වැනි) අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕන.
එහෙම නැතුව "මම ළඟ මුකුත් නැහැ" කියලා නිකන් ඉන්න බැහැ.
යම් විදියකින් ඔබ ළඟ ජාතික හැඳුනුම්පතවත්, අනන්‍යතාවය තහවුරු කරන වෙනත් කිසිම ලියවිල්ලක්වත් නැත්නම් සිදුවෙන්නේ ලොකු රස්තියාදුවක්.
එවැනි අවස්ථාවක ඔබේ අනන්‍යතාවය නිශ්චිතවම තහවුරු කරගන්නා තුරු ඔබව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් රඳවා තබා ගැනීමට පොලිස් නිලධාරීන්ට නීත්‍යානුකූල බලය තියෙනවා.
ඒ නිසා පොඩි නොසැලකිල්ලක් නිසා වෙන්න පුළුවන් මේ නීතිමය ගැටලුව සහ කාලය කා දැමීම මඟහරවා ගන්න, ගෙදරින් එළියට බහින හැම වෙලාවකම අයිඩෙන්ටි එක හෝ ඊට සමාන වලංගු ලියවිල්ලක් ළඟ තබා ගැනීම තමයි නුවණට හුරුම දේ.
සමාජමාධ්‍යයේ පළවූ ලිපියක් ඇසුරෙන්..