වසර 11කට පෙර මුළු රටම කම්පා කරමින් කොටුව ගුවන් පාලම ලේ විලක් කළ ඒ අතිශය අමානුෂික ඝාතනයේ අවසාන තීන්දුව පසුගියදා කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළා.
මෙය හුදෙක් ඝාතනයක්ම නොව, මවකගේ මාරක අනාවැකියක් සහ දැඩි ආදරයක් වෛරයක් බවට පෙරළුණු ඛේදවාචකයක අවසානයයි.
සිය තරුණ පෙම්වතියගේ ගෙල කපා ඇය අමානුෂික ලෙස ඝාතනය කළ බව කියන පෙම්වතකුට කොළඹ මහාධිකරණය ඉකුත්දා මරණීය දණ්ඩනය නියම කළේය. මෙහි විශේෂත්වය වනුයේ මියගිය පෙම්වතිය මෙන්ම ඇය මරා දැමූ බවට චෝදනා එල්ල වූ පෙම්වතාද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කිරීමය. කෙසේ වෙතත් අදාළ විත්තිකාර කොස්තාපල්වරයාට මරණ දඬුවම නියම වුවද එම දඬුවම ලබාදීම සඳහා ඔහු බන්ධනාගාරය වෙත රැගෙන යෑමට නිලධාරීන්ට නොහැකි විය. ඒ ඔහු ඒ වන විටත් අධිකරණය මඟහැර සිටීම නිසාය.
මෙලෙස මරණ දඬුවම හිමි වූයේ හිටපු පොලිස් කොස්තාපල්වරයකු වූ නිලන්ත පුෂ්පකුමාරටය. ඔහු අතින් ඝාතනය වී තිබුණේ නදීශානි මදුභාෂිකා නමැත්තියකි. මෙම ආදර අන්දරය එකිනෙක පෙළ ගැසෙන්නේ මෙලෙසය.
බිබිල ප්‍රදේශයේ උපත ලද නදීශානි පවුලේ වැඩිමලාය. හේරත් මුදියන්සේලාගේ සමරසිංහ නදීශානිගේ පියාය. මව දිසානායක මුදියන්සේලාගේ සෝමාවතීය. බිබිල, තන්නපුරාව වාරිමාර්ග කාර්යාලය ඉදිරිපිට මොවුහු පදිංචිව සිටියහ. ඇය උසස් පෙළ හැදෑරුවේ තන්නපුරාව මහා විද්‍යාලයේය. හදිසි අනතුරකින් පියා මිය යෑමෙන් පසු නදීශානිගේ පවුලට අගහිඟකම් ඇති විය. රැකියාවකට යා යුතු යැයි නදීශානි තීරණය කළේ ඉන් පසුවය. ආර්ථික අපහසුතා මීට බෙහෙවින් ඉවහල් විය.
කුඩා කල සිටම ක්‍රීඩාවට හපනියක වූ නදීශානිගේ එකම ආශාව වූයේ පොලිසියට බැඳීමය. ඇගේ සිහිනය ඉටුවිය. 2009.01.04 දින ඇය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණු වීමට ගියාය. ඒ පොලිස් කොස්තාපල්වරියක ලෙසය.
කාලය ගෙවී ගියේ එලෙසය. වසර හතරක් පුරා ඇය පොලිස් ස්ථාන කිහිපයකම සේවය කළාය. අවසානයේ ඇය කොටුව පොලිස් මූලස්ථානයේ සේවයට පැමිණියාය.
ඒ වන විටත් ඇය තරුණයකු හා පෙමින් වෙළී සිටියාය. ඒ පොලිස් කොස්තාපල්වරයකු වූ නිලන්ත පුෂ්පකුමාර සමඟය. ඇයට නිලන්ත හමුවන්නේ කොස්ලන්ද පොලිසියේ රාජකාරි කළ සමයේය.
දැන හඳුනා ගැනීමෙන් පසුව ඔවුනොවුන්ගේ මවුපියන්ටද ඒ ගැන දැනුම් දෙනු ලැබූහ. මවුපියන්ගේ ආශීර්වාදයද ඔවුනට නොමඳව හිමිවිය. නිලන්තද නදීශානිට දැඩි ලෙස ආදරය කළේය. ආදරය වැඩිකමටදෝ ඔහු ඇයට කතා කළේ ”මැණිකෙ” කියාය. නදීශානි ඔහුට ”අප්පච්චි” ලෙසින් ආමන්ත්‍රණය කළාය.
කාලය ගෙවී ගියේ මෙලෙසය. ඒත් එකවරම නදීශානිගේ කිසියම් වෙනසක් නිලන්තට පෙනුණේය. ඇගේ මවද නිලන්තට එරෙහි විය.
”ඇයි මැණිකෙ මට ඔහොම කරන්නේ. මම මොන වරදක් කළාටද?”නිලන්ත කිහිප වතාවක්ම නදීශානිගෙන් ඇසුවේය. ඒත් ඊට සාර්ථක ප්‍රතිචාරයක් ඇගෙන් නොලැබිණි. නිලන්තගේ සීමාවද ඉක්මවා ගියේය. නදීශානිගේ වෙනස්වීම ඔහුට දරාගත නොහැකි විය. ඔහු ඇය සොයා ආවේය. කොටුව ගුවන් පාලම මතදී ඔහුට ඇය හමුවිය. ඒ 2013 ජනවාරි මස 7 වැනිදා උදෑසනය. ඒ මොහොතේ නිලන්ත සිටියේ මඳක් වෙරිමතිනි. ඔහු සතුව කළු පැහැති අත්බෑගයක් විය. එහි තියුණු උල් පිහියක් සහ වස කුප්පියකි. ඒ බව නොපවසා නිලන්ත තම වේදනාව යළි ඇයට කීවේය.
”ඔයා මට ඔහොම කරනවා නම් මම මේ පිහියෙන් බෙල්ල කපාගෙන මෙතැනම මැරෙනවා…” නිලන්ත බැරිම තැන කීවේය.
”ඔයාට ඕනි දෙයක් කරන්න. අම්මයි මට ඉන්න කොල්ලයි නිසා මම ජීවත් වෙන්න ඕන” ඇයට කියන්නට හැකි වූයේ එපමණකි. කපාලූ කෙසෙල් කඳක් මෙන් ඇය පාලම මතම ඇදගෙන වැටුණාය. ඒ සැණින් බෑගයේ තිබූ වස කුප්පිය අතටගත් නිලන්ත එය බීගෙන බීගෙන ගියේය. ඔහුට සිහිය ආවේ දවස් තුනකට පසුවය. ඒ රෝහලේ ඇඳ මතය. රෝහල් වාට්ටුව බාර වෛද්‍යවරයා ඒ බව කියන තුරු නිලන්තට කිසි දෙයක් මතකයේ නොවීය. එය ඇත්තක් දැයි දන්නේ නිලන්තම පමණකි.
”අනේ සර්… මම එහෙම දෙයක් දන්නේ නැහැ… එහෙනම් මට නදීශානි බලන්න ඕනෑ සර්…”ඒත් ඔහුගේ ඉල්ලීමට ඉඩදීමට කිසිවකුට හැකියාවක් තිබුණේ නැත. ඒ වන විටත් ඔහු සිටියේ පොලිස් අත්අඩංගුවේ නිසාය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලැබුවේ කොටුව පොලිසිය විසිනි. ඒ වන විට එහි ස්ථානාධිපතිවරයා වූයේ චමිල් රත්නායකය. අපරාධ විමර්ශන අංශය භාරව සිටියේ පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගමය.
නිලධාරීන් රෝහල් වාට්ටුවේ සිට සැකකාර නිලන්තගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තේය. ඔහු කතාව මුල සිටම නිලධාරීන්ට කීවේය. ඒ අනුව ඔහු එදා පවසා තිබුණේ මෙවැන්නකි.
නිලන්ත අධ්‍යාපනය ලැබුවේ කුඹල්ගමුව කිරිබණ්ඩාර මහා විද්‍යාලයේය. උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ ඔහු ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක්වන්නේ 2009 ජනවාරි මස 4 වැනිදාය. පහළගම පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මාස තුනක මූලික පුහුණුවක් ලැබූ ඔහු 2009 මැයි මස 10 වැනිදින කොස්ලන්ද පොලිසියට ස්ථාන මාරුවක් ලැබීය. නදීශානිටද මුල් පත්වීම ලැබෙන්නේ කොස්ලන්ද පොලිසියටය. ඔවුන් ප්‍රේම සබඳතාවකට මුල පුරන්නේ 2009 වසරේ අගෝස්තු 12 වැනිදාය. ඒ දිනය නිලන්තගේ මතකයෙන් ගිලිහී ගොස් නැත.
”අපි දෙන්නගෙ ආදරයට අවුරුද්දක් විතර යද්දී ඒ ගැන මවුපියන්ට දැනුම් දුන්නා. ඊට පස්සේ එයාලගේ අම්මලා, නංගිලා අපේ ගෙදරත් ආවා. අපිත් බිබිලෙ ගෙදරට ගියා.”
“නදීශානි නිවාඩුවට ආවම අපි රටේ ගොඩක් තැන්වලට ගියා. හෝටල් කාමරවල හිටියා. ඒත් මගේ අතින් කිසිම වැරැද්දක් වුණේ නැහැ. මට ඕන වෙලා තිබුණේ මවුපියන්ගේ ආශීර්වාදය මැද්දේ නදීශානි කසාද බැඳගන්නයි…
“නදීශානිගේ අම්මා අපේ ගෙදර ඇවිල්ලා ගියාට පස්සේ අපේ ගෙවල් දුෂ්කරයි කියලා වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ නිසාම එයාගේ අම්මා බිබිලෙ ටවුමට කිලෝමීටර් 9ක් දුරින් මඩකළපුව පාරෙන් පර්චස් 43ක ඉඩමක් ගත්තා නදීශානිගේ නමට. ඉඩම ලක්ෂ 6යි. නදීශානි ගාව තිබුණු ලක්ෂ දෙකකුත් ගාණකුයි මගේ සල්ලියි දාලා ඉඩමට සල්ලි බැන්දා. ඉතිරි සල්ලි මාස 5කින් ගෙවන්න පොරොන්දු වුණා. එයත් හරියට සතුටු වුණා. ඉක්මනට කසාද බැඳලා ඉක්මනට ගෙයි හදාගන්න ඕන කිව්වා.”
”ඔය අතරේ තමයි නදීශානිට කොස්ලන්දෙන් කොළඹ මූලස්ථානයට මාරුවක් ලැබුණේ. එයා නැවතුණේ කොටුව පොලිස් බැරැක්කේ. එයා ට්‍රාන්සර් ගියත් අපි දෙන්නා ආදරෙන් හිටියා. අපි දෙන්නා කසාද බඳින්න ඕන නිසා මුදු දෙකකුත් හැදුවා. ඉඩමේ වාරිකත් ගෙව්වා. ඔන්න ඔහොම තියෙද්දී එයාගේ අම්මා කියලා තිබුණා. අපේ කේන්දර ගැළපෙන්නේ නැහැ කියලා එයා මාව බැන්දොත් මම අවුරුදු 4කින් මැරෙනවා කියලා තිබුණා. පස්සේ මමත් අපේ අම්මලත් කේන්දර බැලුවා. එතකොට එහෙම දෙයක් පෙන්නුවේ නැහැ…”
නිලන්ත පොලිසිය හමුවේ කියන්නට විය. මවගේ ක්‍රියා කලාපයත් සමඟ නදීශානිගේද වෙනසක් ද ඔහුට දැනුණි. එහෙත් එම වෙනස තේරුම් ගැනීමට ඔහුට හැකියාවක් නොවීය. ඒ ඔහු මැණිකෙව අවිශ්වාස නොකළ නිසාය.
“කොළඹ ගියාට පස්සේ මැණිකෙ මාත් එක්ක කතා කරන එක අඩු කළා. 2012.12.19 ඉඳන් 2013.01.03 වෙනකම් මට වචනයක් කතා කළේ නැහැ. මාව අමතක කරන්න එපා කියලා මම මැසේජ් එකක් දැම්මා.
”දවසක් මම අපේ අම්මට අසනීපයි කියලා නිවාඩු ගත්තා. එහෙම නිවාඩු අරගෙන මම බිබිලෙ නදීශානිගේ ගෙදර ගියා. එහෙම යද්දී මැදගම කඩයකින් කෘමි නාශක බෝතලයකුත් ගත්තා. ඒත් ගෙදර කවුරුවත් හිටියේ නැහැ.
මම ලියුමක් ලියලා එහෙ ගෙදරින් තිබ්බා. ‘මම වහ බොනවා. මම මැරුණට පස්සේ එක දවසක් මිනිය තියාගෙන’ ඕනෑ දෙයක් කරන්න කිව්වා. මම කෝල් ගත්තා ගත්තා එයාට. එයා කතා කළේ නැහැ. මට ඒ වෙලාවේ ජීවිතේම එපා වුණා.
“ඔන්න ඔහොම ඉඳිද්දී එයා කතා කරලා කිව්වා ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. මම අද රෑට ගෙදර එනවා. මම ඇවිත් ප්‍රශ්නෙ විසඳන්නම්. අපි තීරණයක් ගමු කියලා කිව්වා.
ඒත් එයා ගෙදර ආවේ නැහැ. ඒ නිසා මට සැකයක් ඇතිවුණා. ඒත් මම එයාව අවිශ්වාස කළේ නැහැ.
ඒ අතරේ එයා මට කිව්වා අම්මත් එක්ක කතා කරලා සතියක් ඇතුළත තීරණයක් කියන්න. අපේ ගෙදර එන්න එපා. අම්මලා පොලිසි යාවි කියලා.
එයාලගේ අම්මත් කිව්වා මගේ දුව මම උඹට දෙන්නේ නැහැ මරලා දැම්මත් කියලා. ආයේත් මේ හතර මායිමේ ආවොත් කරන දේ මම දන්නවා කියලත් කිව්වා. මට එහෙම කරන්න එපා. මම කරපු වැරැද්ද මොකක්ද කියලා මම ඇහැව්වා… මම එයාට මැසේජ් ගැහුවා. අම්මා ඇයි මට මෙහෙම කරන්නේ. පොලිසි යන්න තරම් දෙයක් මම කළේ නැහැනේ. මම රෑ එළිවෙනකම් මගේ දුක කිය කියා මැසේජ් එයාට යැව්වා සර්…
මගේ ඉඩම මම ඔයාට ලියලා දෙන්නම්. මට ඉඩම් ඕන නැහැ ඔයාට ඕන කෙනෙක්ට දෙන්න කියලත් එයා මට කිව්වා…”
නිලන්ත ඔහුගේ අතීත මතකයන් එකක් නෑර නිලධාරීන් හමුවේ එසේ කියන්නට විය. ඒ ඔහු සිය පෙම්වතියට මහත් සේ ආදරය කළ නිසා වන්නට ඇත. ඒත් ඇය පමණක් නොව ඇගේ මවගේ වදන්ද නිලන්තගේ හදවත පසාරු කරලන්නට සමත් විය. මැණිකෙගෙ හදිසි වෙනස් වීම ඔහුට දරාගත නොහැකි විය. ඇයට පෙම්වතකු සිටින්නේ දැයිද ඔහුටද සැකයක් තිබිණි.
ඒ 2013 වසරේ ජනවාරි මස හය වැනිදාය.
“බිබිලෙන් මම නුවරට ආවා. මාර්කට් එකේ කඩයකින් රුපියල් 450ක් දීලා උල් පිහියක් ගත්තා. ඒක පත්තර කොළයක ඔතලා දුන්නේ. පිහිය කළුපාට බෑග් එකක දා ගත්තා. වස කුප්පියත් අරන් දළදා මාලිගාව ළඟට ගියා. මාලිගාව දිහා බලාගෙන නදීශානි මට අකමැති වුණොත් මම මේ වස බෝතලේ බීලා පිහියෙන් බෙල්ල කපා ගන්නවා කියලා තීරණය කළා.
පස්සේ හිතුණා ඒක හරියන්නේ නැහැ. කොළඹ ගිහින් නදීශානි හමු වෙලාම මේක කියනවා කියලා. මම බස් එකක නැඟලා කොළඹ ආවා. එතකොට රෑ අටට විතර ඇති. කොටුව ස්ටේෂන් එක ළඟ අරක්කු කඩේකින් බියර් දෙකක් ගත්තා. එකක් කඩලා ඒ වෙලාවෙම බිව්වා. මගේ හිත පාලනය කරගන්න බැරි හින්දයි දුක හින්දයි එහෙම කළේ.
එදා රෑ එළිවෙනකම් මම ස්ටේෂන් එක ළඟ නිදා ගත්තා. පාන්දර අනිත් බියර් එකත් බීලා උදේ හත වෙනකොට ගුවන් පාලම ළඟට ගියා. එතකොට උදේ 7.30ට විතර ඇති. නදීශානි එතනට ආවා.
”ඇයි නංගි මට බොරු කරන්නේ. ඔයා එදා ගෙදර ආවේ නැහැනේද? ඔයා කොළඹ පීපල්ස් පාක් එකේ හිටියා නේද?”
”ඔව් මම එදා ගෙදර ගියේ නැහැ. මට යන්න දෙන්න.”
”ඇයි මට ඔහොම කරන්නේ. ඔයාට වෙන සම්බන්ධයක් නැත්නම් අපි දෙන්නම මේක බීලා මැරෙමු…”
”මට බැහැ” එයා කිව්වා.
ඔයාට බැරි නම් මම මේ වහ බෝතලේ බීලා මේ පිහියෙන්ම මගේ බෙල්ල කපා ගෙන මෙතැනම මැරෙනවා.
එතකොට එයා කිව්වා ඔයාට ඕන දෙයක් කරන්න. මට අම්මයි, මගේ කොල්ලයි එක්ක ජීවත් වෙන්න ඕන. මට යන්න දෙන්න කියලා.
නිලන්තගේ මතකයේ එවකට තිබී ඇත්තේ එපමණකි. ඔහු පොලිසියට පැවැසුවේ තමාට සිහිය එන විට තමා සිටියේ රෝහලේ ඇඳමත බවය. ඒ හැරෙන්නට ඔහු නදීශානිගේ මරණය ගැන කිසිවක් කියා තිබුණේ නැත.
කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශය එදා මෙලෙස සටහන් කරගත් නිලධාරීන් අධිකරණයට ඔහු ඉදිරිපත් කළේය. අධිකරණය ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර පසුව ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩු විභාගය ඇරැඹිණි. නඩු වාර කිහිපයකටද පෙනී සිටි ඔහු 2024 වසරෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් නොවූ අතර ඉන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වැනි වගන්තිය ප්‍රකාරව චූදිතයා නොමැතිව නඩුව මහාධිකරණයේදී විභාග විය.
ඒ අතර කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කූරඹගේ අධීක්ෂණය යටතේ පොලිස් කොස්තාපල් සඳරුවන් (10783) විසින් මෙම මහාධිකරණ නඩුව මෙහෙය විය.
කෙසේ වෙතත් කළ විමර්ශනයේදී සැකකරන්නේ සැකකාර කොස්තාපල්වරයා මෙරටින් පලාගොස් ඇති බවය. මොහු මේ වන විට ඩුබායි රාජ්‍යයේ සිටින බවට සැක තොරතුරු ලැබී ඇති බැවින් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ඒ සම්බන්ධ තොරතුරු ඉකුත් දිනක ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්ද විමසා බලා තිබේ.
ඊට අමතරව ඉකුත්දා නැවතත් සැකකාර කොස්තාපල්වරයාගේ පියාගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ 2024 මාර්තු මස 10 වැනි දින නිවෙසට පැමිණ 20 වැනිදා තෙක් නිවෙසේ සිට පිටව ගියායින් පසුව තම පුතු නොදුටු බවකි.
කෙසේ වෙතත් නදීශානි කොස්තාපල්වරිය ඝාතනය කිරීමේ නඩුව චූදිතයකු නොමැතිව ඉකුත් දින කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ විභාගයට ගැනුණු අතර එහිදී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා චූදිත නිලන්තට මරණ දඬුවම නියම කළේය.
විත්තිකරුට පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකොට ඇති බවත්, මරණකාරියගේ සිරුරේ තිබූ බරපතළ කැපුම් තුවාල 47කට අධික ප්‍රමාණය අනුව විත්තිකරු එකී ඝාතනය හිතාමතාම හා සැලසුම් සහිතව සිදුකළ බවට සනාථ වන බවත් විනිසුරුවරයා පෙන්වාදී තිබිණි.
කොළඹ පොලිස් ස්ථානයක සේවය කළ මරණකාරිය ගුවන් පාලම මතින් ගමන් කරන බව දන්නා විත්තිකරු ගුවන් පාලම මත රැක සිට ඇය හමු වූ අවස්ථාවේදී ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව සිය මල්ලේ සඟවාගෙන සිටි මන්නා පිහිය රැගෙන ඇගේ ගෙල වෙන්වන සේ පිහි පාර එල්ල කර තිබූ බවත්, ඉන් අනතුරුව ඇගේ මුහුණ, පපුව ඇතුළු ශරීරයේ කොටස් කීතු කීතුවලට කපා තමන් සන්තකයේ තිබූ වස කුප්පියක් ගෙන ඇගේ මුවට හලා ඉතිරි කොටස පානය කර තිබූ බව ඇසින් දුටු සාක්ෂි අනුව අනාවරණය වී තිබිණි.
කෙසේ වෙතත් ගුවන් පාලම මතදී මරණකාරිය හමු වූ බව සත්‍යක් වන නමුදු ඇය පැවැසූ වදන් නිසා ශෝකයට පත් තමා වස පානය කළ බවත් මරණකාරියට එකී කැපුම් තුවාල සිදු වූ ආකාරය තමන් නොදන්නා බවත් විත්තිකරු සිය නීතිඥයන්ගේ මෙහෙයවීම යටතේ සාක්කි ලබාදෙමින් කියා තිබිණි.
කෙසේ නමුත් විත්තිකරුගේ එම ප්‍රකාශය දඬුවමෙන් ගැලවීමේ අරමුණෙන් සිදුකළ එකක් බවට අධිකරණය සිය තීන්දුව මඟින් පෙන්වාදී තිබේ.
මරණකාරිය අධ්‍යාපන කටයුතුවලට විශේෂ දක්ෂතාවක් දැක් වූ අයකු වුවද විශ්වවිද්‍යාලයට ඇතුළු නොවී පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණේ උසස් අධ්‍යාපනය ලබන බාල සහෝදරියගේ හා සහෝදරයාගේ වගකීම මෙන්ම පියා අහිමි පවුලේ නඩත්තුව පිළිබඳ වගකීම සිය කැමැත්තෙන්ම බාරගෙන බවත් පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීමට පෙර කුලියට ගඩොල් කැපීම පවා සිදුකර සිය මව ඇතුළු සහෝදරයන් දෙදෙනාගේ කුස ගින්න නිවීමට ඇය උත්සාහ දරා තිබූ බවත් නඩු විභාගයේදී අනාවරණය වී තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දිලීප සී. පෙරේරා කිවේ. විත්තිකරු රටින් පලා ගොස් ඇති බවට සැකමුසු තොරතුරු ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු ලබා ගැනීමට ඉදිරියේදී ක්‍රියා කරන බවකි.
පොලිස් විමර්ශන ඇසුරෙනි
කීර්ති මෙන්ඩිස්