ලොවම කම්පා කළ මේ සිදුවීම වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයෙනුයි.
පසුගිය සිකුරාදා මේ ඕස්ට්‍රේලියානු පවුල පැඩල්බෝඩ් සහ කයාක් බෝට්ටු පදිමින් නොගැඹුරු මුහුදේ විනෝද වෙමින් සිටියදී, හදිසියේම හමා ආ දරුණු සුළඟකට හසුව තිබෙනවා. ඇසිපිය හෙළන සැණින් ඔවුන් ගමන් කළ බෝට්ටු වෙරළෙන් ඔබ්බට ගැඹුරු මුහුද දෙසට ගසාගෙන ගොස් ඇත්තේ පවුලේ පිරිස අතරමං කරමින්.
අනාරක්ෂිත තත්ත්වයෙන් තම මව සහ සහෝදර සහෝදරියන් බේරාගැනීමට වෙනත් කිසිදු මගක් නොමැති තැන, 13 හැවිරිදි ඔස්ටින් ඇපල්බී නමැති මේ දරුවා දරුණු මුහුදු රළ සමඟ සටන් වදින්නට තීරණය කර තිබෙනවා.
නාවික සැතපුම් දෙකක දුරක්, එනම් කිලෝමීටර් 4ක් පුරා පැය 4ක් නොනවත්වා පිහිනූ ඔස්ටින් අවසානයේ වෙරළට ළඟා වී සහන කණ්ඩායම් දැනුවත් කිරීමට සමත් වුණා.
පුංචි ඔස්ටින් ලබා දුන් තොරතුරු මත වහාම ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම්, රාත්‍රී කාලයේම මුහුද මැද අතරමංව සිටි පවුලේ සෙසු සාමාජිකයන් බේරාගැනීමට සමත් වී තිබෙනවා. ඒ වන විටත් ඔවුන් දැඩි භීතියට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
ලෝකයේම අවධානය දිනාගත් මේ කුඩා වීරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ හරිම නිහතමානී කතාවක්.
"මම වීරයෙක් කියලා හිතන්නේ නැහැ. මම කළේ ඒ වෙලාවේ කළ යුතු දේ විතරයි" යනුවෙන් ඔහු පවසා තිබෙනවා. සැබෑ වීරයන් චිත්‍රපටවල පමණක් නොව, සැබෑ ලෝකයේත් සිටින බව මේ 13 හැවිරිදි දරුවා මුළු ලෝකයටම ඔප්පු කර අවසානයි.