යාපනය, වඩමාරච්චි, කට්ටකාඩු මුහුදේ පාවෙමින් තිබූ අද්භූත වස්තුව නාවික හමුදාව විසින් පළාතේ ධීවරයින්ගේද සහය ඇතිව ඊයේ (24) ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.
එහිදී යකඩෙන් තනන ලද එම වස්තුව කිලෝ ග්‍රෑම් 4000කට වඩා බරින් යුත් නිසා එය ගොඩගැනීම සඳහා යාපනය, වෙත්තිලකේණී නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට බැකෝ යන්ත්‍රයක් හා ට්‍රැක්ටරයක්ද යෙදවීමට සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
නාවික හමුදාව සඳහන් කර ඇත්තේ එය අද්භූත වස්තුවක් නොව විශාල නැව් ගැඹුරු මුහුදේ නැංගුරම් දැමීමේදී භාවිතයට ගන්නා විශේෂ බෝයාවක් බවයි.
යකඩවලින් කේතුවක ආකාරයට තනන ලද එම බෝයාවේ ඉහල කොටස කොතක ආකාරය ගෙන තිබුණද, එහි යට කොටස විශාල යකඩ ප්‍රමාණයක් යොදාගෙන වැඩි බරකින් යුතු වන ආකාරයට නිපදවා තිබෙනවා.
මුහුදු ගොස් ආපසු පැමිණෙමින් සිටි වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් මෙවැනි වස්තුවක් මුහුදේ පාවෙමින් තිබෙනු දැක, ඒ පිළිබඳව නාවික හමුදාවට හා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට දැනුම් දී තිබෙනවා.
නාවික හමුදාව ගොඩගන්නා ලද එම විශේෂ බෝයාව වඩමාරච්චි වෙරළාසන්නයේ තබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.