සොබාදහමේ මූලිකයෝ වන්නේ එහි ජීවත් වන ජීවී කොට්ඨාශයයි. අහස , මහපොළොව, ඉර, හඳ,ගස්, වැල් ගංඟා ඇළ දොළ වැනි සියලු අජීවී වස්තූන්ද සොබාදහමේ වටිනා සම්පත්ය. වර්තාමාන ලෝකයේ මේ සොඳුරු සොබාදහම විවිධ මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විනාශ වී යන බව අප හොඳින් දන්නා කරුණක්.
මෙලෙස සොබාදහම විනාශය වන වර්තාමාන ලෝකයේ සොබාදහමට පණමෙන් ආදර කරන මිනිසුන්ද සිටිනවා.එවැනි වූ සොඳුරු මිනිසෙක් පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වුණා.
ඉන්දියාවේ "මොලායි වනාන්තරය" පිළිබඳව ඔබ මීට පෙර අසා ඇති. නමුත් මේ විශාල වානාන්තර බිහි වුණේ සොඳුරු මිනිසෙකුගේ දෑතින්.
ඒ තමයි ජාදව් මොලායි පායෙං නැමති සොඳුරු මිනිසා. ඉන්දියාවේ කාන්තාරයක්ව තිබූ අක්කර ගණනක භූමි ප්‍රදේශය විවිධ වූ ශාක වර්ගයන් සිටුවා ඝණ වනාන්තරයක් බිහි කිරීමට ජාදව්ගේ දෑත් ශක්තිමත් වුණා. මේ අපූරු සොඳුරු මිනිසාගේ ජීවිත කතාව පිළිබඳව සටහනක් අන්තර්ජාලයේ මෙලෙස පළකර තිබුණා.එම සටහන පහතින්..
ජාදව් මොලායි පායෙං ඉන්දියාවේ ජීවත් වූ වැඩි අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය ගැමි මිනිසෙකි. ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ බ්‍රහ්මපුත්‍ර නම් විශාල ගං ඉවුරේ පිහිටි කුඩා ගමක ඔහු ජීවත් විය. 1979 වර්ෂයේ එක් දිනක ඔහුගේ සිතුවිලි කිසිදා නොසිතූ අරමුණක් වෙනුවෙන් නාභිගත වූයේ එම ප්‍රදේශය විනාශ කරමින් ගලා ගිය විශාල ගං වතුර නිසාවෙනි.
ඔහු ජීවත්ව සිට ගමට යාබදව ගං ඉවුරේ තිබුණේ අක්කර ගණනක් විශාල වැලි තලාවකි. ගං වතුරෙන් පසුව වියළී ගිය වැලි තලාවට ගිය ජාදව්ට දකින්නට ලැබුණේ සර්පයින් විශාල ප්‍රමාණයක් එහි මිය ගොස් තිබූ දර්ශනයකි. මෙයින් ඉමහත් කම්පාවට පත්වූ ඔහු මරණ වලට හේතුව සොයා බැලීය. ගංවතුර නිසා වැලිතලාවට ආ සර්පයින් පසුව එහි දැඩි හිරු රශ්මිය දරාගත නොහැකිව විජලනයට පත්වී මියගොස් ඇති බව ඔහුට සොයාගන්නට හැකිවිය. ගැටලූවට විසදුම මෙම වැලි තලාව මත ගස් සිටුවීමයි. වහාම ඔහු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළේ ඉන් පසුවයි. වන සංරක්ෂණ නිලධාරීන් පැවසූයේ නිසරු වැලි තලාවේ වන වගා කළ නොහැකි බවත් එහි වැවිය හැක්කේ උණ බම්බු පමණක් බවත්ය. ගැටළුවට ඔවුන්ගෙන් විසදුමක් නොලැබුණි.
ඉන් පසු එවකට 16 හැවිරිදි දරුවෙකු වූ ජාදෙව් තීරණය කළේ මෙහි වන රෝපණය තමන් විසින් තනිව හෝ සිදුකළ යුතු බවයි. නිළධාරීන් පැවසූ ආකාරයට උණ බම්බු මොටෙයියන් කිහිපයක් වැලි තලාවේ සිටුවා දිනපතා ජලය දමමින් කුඩා උණ පදුරක් ඔහු අතින් මුලින්ම නිර්මාණය විය. ඉන්පසු විවිධ ගස් වර්ග වලිතලාව මත දින දින රෝපණය කරන්නට ඔහු පටන් ගත්තේය. “ඒක ගොඩක් වේදනාත්මක මතකයක්. කිසිම සරු බවක් නැති වැලි තලාවක ගස් වවන එක ලේසි වැඩක් උනේ නැහැ” අද ඔහු තමන්ගේ මුල්ම කාලය ගැන එසේ පවසයි.
මිනිසුන් උගතුන් යැයි මනින පාසල් අධ්‍යාපනය ඔහු තුළ නොතිබුණත් ඇතැම් උගතුන්ට කිසිදා හිමිකර ගත නොහැකි සොබා දහමේ අධ්‍යාපනයෙන් ඔහු පෝෂණය වී සිටියේය. ජෛව විවිධත්වය සම්බන්ධයෙන් මහා ප්‍රාඥායෙකු වූ ඔහු එම දැනුම ලබා ගත්තේ සොබා දහම සමග ඒකාබද්ධ වීමෙනි. පස සරු කිරීමට ගමෙන් එකතු කරගත් රතු කූඹින් ගෙනවිත් දැමූයේ මේ දැනුම උපයෝගී කරගනිමිනි.
වැලිතලාව තුළ තිබූ සරු පස් එකතු කිරීම කූඹින් අතින් සිදුවිය. එම පෝෂණය ලබා ගනිමින් ඔහු වගා කළ කුඩා පැල රූස්ස ගස් බවට ටිකෙන් ටික පත්විය. මෙසේ වසර 30ක කාලයක් නොකඩවා ඔහු තම වනාන්තරයේ වැඩෙහි යෙදුණේය. දිනෙන් දින විශාලවූ වනාන්තරය විවිධ වෘක්ෂ වර්ග දහසකට අධික ජෛව විවිධත්වයකට හිමිකම් කියන මහා වනාන්තරයක් බවට පත්විය. ඔබ පුදුමයට පත්වන කරුණ නම් මේ වන විට එම වනාන්තරය අක්කර 1360ක විශාලත්වයෙන් යුතු මහා ඝන කැළෑවක් වීමයි. එය තනි මිනිසෙකුගේ නිර්මානයක් වීම ඊටත් වඩා පුදුම උපදවන කරුණකි.
ලොව පුරා මිනිසුන් පුදුමයට පත් කළ මොලායි වනාන්තරය බිහිවුණේ මේ ආකාරයෙන් තනි මිනිසෙකුගේ දැතෙනි. මෙම වනාන්තරයට මොලායි රක්ෂිතය ලෙස නම් තැබුණේ ජාදව් මොලායි පායෙං තම මුළු ජීවිතයම කැප කර නිර්මාණය කළ මේ සුවිශාල වනාන්තරය වෙනුවෙන් ඔහුට කරන උපහාරයක් ලෙසිනි. එහෙත් දැන් මෙහි සින්නක්කර හිමිකරුවා ජාදව් නොවේ. මේ මහ වන ලැහැබ තුළ ගිජු ළිහිණියන්, විවිධ කුරුළු වර්ග, වදුරන්, රිලවුන්, සාවුන්, මුවන්, වළසුන් පමණක් නොව දුර්ලභ රාජකීය බෙංගාල කොටින් පවා අයිතිකරුවන් වී ජීවත්වේ. ජාදව් මෙම නව හිමිකරුවන්ට තමාගේ මුළු ජීවිතයම කැප කළ නිර්මාණය කළ සම්පත නොමිලේම පවරා දී ඇත්තේ ඉතාමත් සතුටිනි. ජාදව් පවසන ආකාරයට ඔහු ඉතාමත් අකමැති හිමිකරුවන් පිරිසක්ද මේ වනයට අයිතිවාසිකම් කීමට උත්සාහ දරා ඇත. ඒ අවට ගම් වල වාසය කරන ගස් කපා ලී ඉරන කැළෑ පාළුවන් හා සතුන් දඩයම් කරන මස් වැද්දන්ය. ඔවුන් ගහ කොළ විනාශ කිරීමටත් සතුන් දඩයම් කිරීමටත් පටන්ගෙන ඇත. මෙය ඉවසාගත නොහැකි වූ ජාදව් අවට ගම්වලට ගොස් මෙසේ තමන් විසින් මහත් කැපවීමෙන් ඉදිකළ වනාන්තරය විනාශ නොකරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු දැන් එම තත්වය පාලනය වී ඇති බව ඔහු පවසයි.
අදටත් ඔහු වනාන්තරය අද්දර කුඩා පැළක තම බිරිද සමග මීකරි හා එළකිරි විකුණා ලැබෙන ආදායමෙන් තම සරල දිවි පෙවෙත ගෙවමින් සිටියි. ජාදව් ගේ මෙම විශ්මකර්ම නිර්මාණය දුටු ඉන්දියානු රජය එම වනාන්තරය තවත් අක්කර 1200කින් පමණ වැඩි කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.