පවුල් පිටින් , නැත්නම් ආදරවන්තයා හෝ ආදරවන්තියත් එක්ක ,නැත්නම් තනියම මේ තැනට ඇවිත් සැහැල්ලුවෙන් ඉඳලා යන්න හැමෝම කැමතියි.
මේ කතාව ගාලුමුවදොර දී මට අහන්න ලැබුණ සත්‍ය කතාවක්.
ඔහු නමින් හෂාන් කියලා හඳුන්වන්නම්.
ඔහු ගාලුමුවදොරට හවසක ඇවිල්ලා තිබුනේ හවසක.
හැබැයි තනියම නෙවෙයි.
සුදු බෝලයක් වගේ ලස්සන චූටි කෙලි පැටික්කියකුත් එක්ක.
බෝලයකට පයින් ගගහා එහෙ මෙහෙ දුවන ඒ පුංචි කෙලි පැටික්කි අවසානෙදි ඔහු ගාවට දුවගෙන ඇවිත් උකුලෙන් ඇල වුණා.
ඒ පොඩි මහන්සියකුත් එක්ක ඒ චූටි පැටියට ඔහුගේ උකුලේ නින්ද ගිහින්.
මේ වගේ ලස්සන චූටි කෙලි පැටික්කියෙක් එක්ක ඉන්න මේ කඩවසම් තරුණයා එක්ක ආව ගැහැනු පරානයක් නම් පේන්න හිටියේ නැහැ.
හැබැයි මට ඒ චූටි කෙළි පැටික්කිව ටිකක් ලඟින් දකින්න වුවමනාවක් තිබුණා.
මගේ මිතුරියගේ බාධා කිරීම් මැද්දේ ඔහු සහ ඒ දියණිය සිටි බංකුව වෙත මම ගියා.
මුල් වචන පෙළ මම දිග හරින්න ඕනි නිසා මම ඔහුට කතා කළා.
දුවට මහන්සි ඇති නේද ?
මද සිනහවකින් ඔහු මවෙත සංග්‍රහ කළා.
ඒ එක්කම බැන බැන සිටි මගේ මිතුරියත් මා අසලට ආවා.
දියණිය මුහුදු හුළඟේ සනීපෙට නින්ද ගිහින්.
මම ඔහුගේ නිදහසට බාධා කළාවත්ද ?
මම අහන්න හොඳ නැතිම ප්‍රශ්නයක් ඔහුගෙන් ඇහුවා...
ඔය දෙන්නා විතරද ආවේ...
නැත්නම් වයිෆ් එනකන් ඉන්නවද ?
ඒත් ඔහුගේ මුවගින් මට දුන්නේ හිනාවක් විතරයි.
මේකගේ ලොකුකම...ම
ම හිතින් හිතුවා...ඒ සමගම තවත් යුවලක් ඔහුට මෑතින් සිට ගත්තා...
ඊට පස්සේ පිරිමි කෙනා මෑතකින් සිටියදී ඒ සුන්දර මුහුණක් ඇති යුවතිය ඔහු වෙත ආවා..
ඔහු හිමීට දියණියගේ නින්දට බාධා කළා.
ඔහු ඒ සුරතල් දියණිය ඇයට වඩා ගන්නට ඉඩ දී බලා සිටියා.
පැමිණි යුවතිය ඒ දියණිය රැගෙන අර පිරිමි පුද්ගලයා අසලට ගොස් ගාලු මුවදොර එහෙ මෙහෙ ඇවිද්දා.
ඇයට විවිධාකාර දේවල් අරන් දුන්නා.
ඇය සමග සෙල්ලම් කළා.
පසුව ඇය දියණිය ඔහු ළඟට රැගෙන ආවා.
ඒ සුරතල් කෙලි පැටික්කිය ඔහු අසලට දිවගොස් බදා ගත්තා.
මට නැවතත් ඇය සහ ඔහු අසලට යන්න වුවමනාවක් ආවා.
මගේ මිතුරියගේ ඇනුම් බැනුම් සහ බාධා කිරීම් මැද ඔහු අසලට ගියා.
මාගේ බෑගයේ තිබූ චොකලට් එකක් අරගෙන ඒ පුංචි සුරංගනාවියට දුන්නා.
ඇන්ටිට තැන්ක් යූ කියන්න ඔහු ඇයට කිවුවා.
ඇය සිනාවකින්ම මට ස්තූති කලා.
මගේ කටට බ්‍රේක් නැහැ.ඒ ආවේ එතකොට..." ඒ මෙයාගේ අම්මා " ඔහු සරළ සිනහාවකින් සංග්‍රහ කරලා යන්න ගියා..
ඒ සුරතල් දියණිය ඔහුගේ බෙල්ල බදාගෙන රත්තරන් පාටට බැහැගෙන යන ඉර දිහා බලාගෙන සිටියා...
මගේ මුවත් ගොලු වුණා...මේ ගාලුමුවදොර මේ වගේ මිනිසුන්ගේ කොතරම් නම් සුසුම්වලින් පිරිලා ඇතිද ?
සුරතල් දියණියක් , ඇයට හොඳ තාත්තා කෙනෙක් වූ පිරිමියෙක් , අසාර්ථක පවුල් ජීවිතයක සුසුම්...
එක්ක මගෙ හිත පිරුණා...
අනේ ඔයා හෙටත් එනවාදැයි අහන්නට තරම් හිත මුරණ්ඩු වුණා..ඒත් පමා වැඩියි ඒ වෙනකොටත් ඔවුන් යන්නට ගිහින් තිබුණා.
ඇත්තටම ඒ පිරිමියට පුළුවන්ද අම්මෙක්ගෙයි තාත්තෙක්ගෙයි ආදරය එකවර දීලා ඒ සුරංගනාවියගේ හිත පුරවන්න ?