සමාජයේ යම් කිසි පුද්ගලයන්ට ලැබෙන ජාතික සම්මාන සහ ගෞරව නාම ගැනත් ඒවා ලබා ගන්න මුදල් ගෙවීම සම්බන්ධ පුවතුත් පළවුණා.මේ කියන්න යන්නේ ඒ ගැන ඇසෙන අලුත්ම පුවත ගැන.
නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක අදාල විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.
එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කරගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂී ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදාගන්නා නාමයන් භාවිතා කරමින් විවිධ පුද්ගලයන් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් සම්මාන, සන්නස් පත්‍ර හා සහතික ලබා දෙන අවස්ථා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
මෙවැනි ආකාරයේ අසංවිධිත සම්මාන ප්‍රදානයන් මගින් මේ දක්වා ගෞරව ප්‍රණාමයට පත් සුවිශේෂී ශ්‍රී ලාංකිකයන් හට දැඩි අසාධාරණයක් හා අගෞරවයක් සිදුවන බවයි එහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව ජාතික සම්මාන සඳහා යොදා ගනු ලබන එවැනි ගෞරව නාමයන් වෙනත් පාර්ශ්වයන් විසින් වැරදි ආකාරයට භාවිතා කිරීම වහා නතර කළ යුතු බවත්, එවැනි ක්‍රියාවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ලේකම්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.