රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා පොලීසිය සමඟ ගැටුමේදී මියගිය සුමිත් ප්‍රසන්න සාදය පැවති නිවසේ උඩු මහලින් බිමට තල්ලූ කළ බව පවසමින් තවත් පුද්ගලයෙකු ඊයේ (3) අධිකරණයේදී සාක්ෂි ලබාදී තිබෙනවා. මීට පෙර ඒ පිළිබඳ සාක්ෂියක් ලබාදී තිබුණේ මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ පමණයි.
මෙලෙස සාක්ෂි දී තිබුණේ දංඕවිට කංකානම්ගේ විමලසිරි නැමති පුද්ගලයායි. ඔහු සිද්ධිය ඇසින් දුටු ආකාරය සම්බන්ධයෙන් උසාවියේදී පවසා සිටියේ මේ ආකාරයෙන්...
වැඩිවියට පත්වෙච්ච අපේ ඥාති දුවගෙ ගෙදර සාදයක් තියෙනවා කියලා ජනවාරි 4 වැනිදා ආරාධනාවක් ලැබිලා අපි එහෙ ගියා. මම ආහාර මේසයේ වැඩ කරමින් එතැන අයට උදවු වුණා. වැඩ කරමින් ඉන්න අතරේ රාත්‍රියේ එතැන කලබලයක් ඇති වුණා. අපිට ගහන්න එපා, මරන්න එපා කියලා ගෙදර හිටපු අය එතැන කෑගැහුවා. කලබලය නිසා ඇති වෙච්ච බයට මම කාමරේ ඇතුළෙ හැංගිලාම හිටියා. ඇති වෙච්ච බය හින්දා මම පහළට ගියේ නෑ. ඉන්නකොට මම දැක්කා උඩුකයට ඇඳුමක් නැති පිරිමි කෙනෙක් දුවගෙන එනවා. එයා තමයි මියගිය සුමිත් ප්‍රසන්න. ඒත් එක්කම ගෑනු කෙනෙක් හඬමින් කෑගැහුවා අපිට ගහන්න එපා කියලා.
ඊට පස්සෙ ඒ. එස්. පී. මහත්තයා සුමිත්ව තල්ලු කරනව මං දැක්කා.
විනිසුරුතුමා - තල්ලු කරනවා දැක්ක දුර කොපමණද?
සාක්ෂිකරු - මම දැක්කෙ ටිකක් දුර ඉඳන්. අඩි 15ක් වගේ.
විනිසුරුතුමා - ඔබ මේ පිළිබඳ කලින් ප්‍රකාශයක් දුන්නද?
සාක්ෂිකරු - මම කලින් ප්‍රකාශයක් දුන්නෙ නෑ. මගේ මස්සිනා ප්‍රකාශයක් දෙන්න ගියාම එයාව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරලා තිබුණා. ඒ බයට මම පොලිසියට ප්‍රකාශයක් දෙන්න ගියේ නෑ. CID එකේ මහත්තුරු ඇවිත් මට මේ දේ තේරුම් කරලා කරුණු පැහැදිලි කළාට පස්සේ තමයි මම ප්‍රකාශයක් දුන්නේ.
සාක්ෂි දීමට පැමිණි රජීව් රාජපක්ෂ (වයස 30) ව්‍යාපාරික
ඔය සිද්ධිය වෙච්චි දවසේ මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් රෝහලට දාන්න ගියා. අපි ගියේ ඔය සිද්ධිය වෙච්ච ගේ ඉස්සරහින්. ඒ වෙලාවේ කිසිම කලබලයක් තිබ්බේ නෑ. එයාව රෝහලට දාලා ආයෙමත් එද්දි රෑ 12.15ට වගේ සිද්ධිය වෙච්චි තැන පොලිස් ජීප් එකක් නවත්තලා තිබ්බා. මම ත්‍රීවීල් එක නවත්තලා වෙන්නෙ මොනවද කියලා ටිකක් බලාගෙන හිටියා. පොලිසියෙ අය ගොඩාක් එතැන හිටියා. I.P පෙරේරා, රාජපක්ෂ මහත්තුරුත් ඉන්නවා දැක්කා.
එතැන පඩිපෙළ බැහැගෙන HQI මහත්තයා පහළට එනවා මම දැක්කා. එතකොට නිල් පාට කාර් එකේ ASP මහත්තයත් ආවා. එයා ඇඳගෙන හිටියේ ක්‍රීම් පාට ඇඳුමක්.
කට්ටියම ඇතුළට ගියාම ඇතුළෙ ලොකු කලබලයක් වුණා. මම ඒ වෙලාවේ 119ට කතා කරලා කිව්වා, පොලිසියෙන් ඇවිත් ගේකට ගහනවා කියලා. ඒගොල්ලො මට කිව්වා 118ට ගන්න කියලා. 118ට අරගෙන කිව්වම එයාලා කිව්වා අපි පොලිසියෙන් එවන්නම් කියලා. එතකොට මම කිව්වා එවන්න කෙනෙක් නෑ. ඔක්කොම ඇවිත් ඉන්නේ කියලා. ඊට පස්සේ උස කළු මහත්තයෙක් කලබලයෙන් වගේ ඇවිත් නිලධාරීන්ට කිව්වා ASP මහත්තයා එකෙක් තල්ලු කළා බලපන් වැටිලද කියලා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.ඩී.සී. ධර්මරත්න මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.