සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සඳහන් කළා.
ඊයේ දිනයේ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුලූ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසද පසුගියද 27 වනදා අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබුණා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනෙන්නේ අධිකරණ නියෝගයෙන් දින 5 කට පසුවයි.
මේ අතර මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ පොලිසියෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු 09 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. එසේම මෙම සිදුවීමේදී පොලිස් ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනෙකුද රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට සූදානමින් සිටිනවා.
මෙම සිද්ධියට අදාළව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයාට මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙරේදා දිනයේද පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. එම පෙත්සම ගොනු කරනු ලැබුවේ ද අදාළ සිද්ධියෙන් මිය ගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ වන නිශාමනී මුණසිංහ විසින්.