හිරු CIA හරහා හෙළිකළ මහනුවර ප්‍රිම්රෝස් උද්‍යාන පෙදෙසේ පිහිටි තෙමහල් නිවසක බලහත්කාරයෙන් තරුණියන් රඳවාගෙන මුදලට අලෙවි කරනා ගණිකා ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට තවත් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.
දැඩි ආරක්ෂක රැකවල් යොදවා යොවුන් වියේ පසුවන තරුණියන් රුපියල් 5000 සිට විවිධ මිල ගණන් වලට අලෙවි කිරීමේ මේ ජාවාරම වසර ගණනාවක සිට ක්‍රියාත්මක වී තිබුණා. බාල වයස්කාර තරුණියන් ද බලහත්කාරයෙන් රඳවාගෙන මෙම ජාවාරම සිදුකළ බවයි එහි සිටි තරුණියක් හිරු CIA වෙත හෙළි කළේ.
‘‘ඔක්කොම චූටි කෙල්ලෝ. 17 ම කෙල්ලෝ හිටියා 4 දෙනෙක් විතර. එක දවසකට 7 - 8 ක් එක්ක වගේ යන්න කියලා තියෙනවා. 31 වැනිදාත් අපි මෙහේ හිටියා. මමයි අර සුදු අක්කයි විතරයි හිටියේ. එදත් වැඩ 7 ක් කළා.‘‘
මෙම වැටලීමේදී මුදලට අලෙවි කිරීම සඳහා රඳවාගෙන සිටි තරුණියන් 4 දෙනෙක් සහ එහි කළමනකාරු අත්අඩංගුවට ගත්තා.
මෙහිදී හෙළි වූයේ දිවයිනේ විවිධ පළාත්වල තරුණියන් හා තැරැව්කරුවන් 150 කගේ පමණ දත්ත ඔවුන් ලේඛන ගත කර ඇති බවයි. ඔවුන් මෙම තරුණියන්ට විවිධ අන්වර්ත නම්ද යොදා තිබෙනවා. ‘‘පච්ච දෙකක් ගහපු ගෑණු ළමයා.
- සුද්දි කකුළ කියන්නේ සුදු ළමයා‘‘ ඒ ඔවුන් භාවිතා කරන නම් කිහිපයක්.. තරුණියන් රඳවා තබා ගැනීම සඳහා ජාවාරම්කරුවන් මෙම තරුණියන්ව මත්ද්‍රව්‍යවලට පවා ඇබ්බැහි කරන බවට මෙහිදී හෙළිව තිබෙනවා.
‘‘කෙල්ලන්ට සල්ලි දෙන්නේ නැහැ. කුඩු ගස්සනවා. ඒ හින්ද කෙල්ලෝ යන්නෙ නැහැ. ඇබ්බැහි වෙච්ච නිසා, යන්නේ නැති හින්දා කුඩු ගස්සලා තමයි තියාගන්නේ.‘‘
ඒ ඇතුළත සිදුවන දේ සම්බන්ධයෙන් තරුණියක් දැක්වූ අදහස්..
අත්අඩංගුවට ගත් තරුණියන් 4 දෙනා සහ අදාළ ස්ථානයේ කළමනාකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මෙම වැටලීමේදී හෙලි වුණේ හුදු ගණිකා ජාවාරමක් පමණක් නොව මිනිස් වෙසින් සිටිනා නොමිනිසුන් මුදල් ඉපයීමේ පරමාර්තයෙන් තරුණ ජීවිත වනසන අයුරුයි.