ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු උඩුමහලකින් ඇද වැටී මිය ගිය 29 හැවිරිදි සුමිත් ප්‍රසන්නගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (10) STF ආරක්ෂාව යටතේ දහස් ගණනක ජනකායක්ගේ සෝසුසුම් මැද සිදුකෙරුණා.
ඒ, ඇඹිලිපිටිය පොදු සුසාන භූමියේදියි. මේ අතර, ඇඹිලිපිටිය නගරය පුරා විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලීසිය තවමත් දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ජනවාරි 4 වන දා පැවැති සාදයකදී පොලීසිය සමඟ ඇති වූ ගැටුමකින් පසු ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි සුමිත් ප්‍රසන්න උඩුමහලකින් ඇද වැටී මිය යන්නේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. කෙසේ නමුත් ඇතැමුන් පවසා සිටියේ ඔහුව 3වන මහලෙන් බිමට ඇදදමා මරා දැමූ බවයි. මොහු බිමට ඇදදැමුවේ පොලිසියට බීමට අරක්කු නොදුන් නිසා බවත් ඇඹිලිපිටිය පුරා කතා පැතිර ගියා.
පසුව මෙම සිද්ධියත් සමඟ ඇඹිලිපිටිය නගරයේ උණුසුම් තත්ත්වයක් මතුවන අතර ප්‍රදේශවාසීන් පොලීසියට දැඩි විරෝධයක් පළ කළා.
ඒ අනුව විශේෂ කාර්ය බලකාය සහ අමතර පොලිස් කණ්ඩායම් ඇඹිලිපිටියට කැදවන අතර, සිද්ධිය පදනම් කරගෙන ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 21 දෙනෙකු තාවකාලිකව ස්ථාන මාරු කෙරුණා.
එසේම ජාතික පොලිස් කොමිසම සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද මෙම ගැටුම සම්බන්ධයෙන් සහ සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළා.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබුණේ සිරුරේ ඇති වූ බහුවිධ තුවාල නිසා අභ්‍යන්තර රුධිර වහනය අධිකවීම හේතුවෙන් සුමිත්ගේ මරණය සිදුව ඇති බවයි. මෙම ගැටුමේදී සාදයකට එක්ව සිටි පිරිස අතර සිටි කිහිප දෙනෙකු මෙන්ම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද තුවාල ලබා තිබුණා.
ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය පදනම් කරගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මිය ගිය සුමිත්ගේ බිරිඳට මීට පෙර නියෝග කර තිබුණේ දේහය රැගෙන රිය පෙරහර පැවැත්වීමෙන් වළකින ලෙසයි.
එසේම ඇඹිලිපිටිය පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ යෙදීම ද අධිකරණය තහනම් කර තිබුණා. මේ අතර, සුමිත් ප්‍රසන්නගේ බිරිඳට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (10) තවත් නියෝගයක් නිකුත් කර තිබුණේ සුමිත්ගේ අවමංගල්‍ය උත්සවය ගෞරවාන්විතව සිදුකිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය මැදිහත්වීමක් සිදුනොකරන බව ද සිහිපත් කරමින්.
සුමිත්ගේ මෘත දේහය වෙනුවට වෙනත් හිස් මිනී පෙට්ටි දෙකක් රැගෙන පෙළපාලියක් යාමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවත්, එවැනි කටයුතුවලින් වළකින ලෙසත් අධිකරණය එමගින් නියෝග කර තිබුණා.
මේ අතර, ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ තිබෙන සියලූම මත්පැන් අලෙවිසැල් ඊයේ දිනයේ වසා තබන ලෙස සුරා බදු කොමසාරිස්වරයා නියෝග කළා. පස්වරු 3.30ට පමණ සුමිත්ගේ දේහය රැගත් අවමංගල්‍යය පෙරහර නිවසින් ගමන් ආරම්භ කළා.
එම කටයුතු හේතුවෙන් ඔහුගේ නිවස ඉදිරිපිටින් දිවෙන මාර්ගය විශේෂ කාර්ය බලකාය විසින් වසා දමා තිබුණා. ඔහුගේ අවසන් කටයුතු වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටියේ තමන් සමගින් එකට සිටි සගයාගේ මහපොළව නුහුලන මරණය ගැන කඳුළු පිරි දෑසිනුයි.
දේහය මිහිදන් කිරීමෙන් පසු රැස්ව සිටි පිරිස සාමකාමීව විසිර ගොස් තිබෙනවා.
දේහය මිහිදන්කළ අවස්ථාවේ වීඩියෝව පහතින්.....VIDEO